පාඩු ලබන පුද්ලගික ආයතන රජයට පවරා ගැනීම සඳහා යෝජනා කර ඇති පනත රටට අහිතකර බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.
මහජනතාව අතර සංවාදයකට ඉඩ නොතබා මෙම පනත හදිසියේ සම්මත කිරීමට කිසිම හේතුවක් නැති බවත්, එම පනත සම්මත කිරීම සඳහා ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය,ඛනිජ තෙල් සංස්ථාව,මිහින් ලංකා,දුම්රිය දෙපාර්තමේන්තුව,ලංගම වැනි පාඩු ලබන රාජ්‍ය ආයතන තිබියදී තවදුරටත් පාඩු ලබන බව කියන තවත් ආයතන පවරාගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උන්වහන්සේ අවධාරණය කළේය.
දේශීය විදේශීය ආයෝජකයින්ට රටේ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්නැයි රජය විසින් දිගින් දිගටම අතවනමින් සිටියත් මෙවැනි පනතක් සම්මත කරගනු ලැබුවහොත් සිහිබුද්ධිය ඇති කිසිවෙකුත් ආයෝජනය නොකරනු ඇති බව සෝභිත හිමියන් පෙන්වා දුන්නේය.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහස්සේ මේ බව කියා සිටියේය.
එසේ වුවද ඌණ කාර්යය සාධන සහ ඌණ උපයෝජන වත්කම් යළි යථා තත්ත්වයට පත් කිරීමේ පනත ගෙන ඒමට රජය තීරණය කරනු ලැබුවේ පාඩු ලබන ව්‍යාපාර යළි නඟා සිටුවීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.
එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පනත සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් තොරව විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරන බවයි.
පනත යටතේ ආණ්ඩුව යළි පන ගැන්වීමට උත්සාහ දරන්නේ පෞද්ගලික අංශයට අයත් දේපළ හෝ ව්‍යාපාර නොව ආණ්ඩුවටම අයිතිව තිබී යම් යම් කොන්දේසි මත පෞද්ගලික අංශයට පවරා දී තිබු දේපල පමණක් බව සිරිසේන අමාත්‍යවරයා කියා සිටියි.
මේ හේතුවෙන් පනත හරහා විදේශීය අයෝජකයින් අධෛර්යමත් වීමක් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.









