ලබා ගත් දේශපාලන බලය වැඩ කරන පන්තියේ ද්‍රෝහීන්ගෙන් ආරක්ෂා කරගත යුතුව තිබෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ඇමති ලාල්කාන්ත පවසයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 07 වනදා බොරැල්ල පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ඇමති ලාල්කාන්ත,
“වැඩ කරන ජනතාවගේ පාලනයක් පිහිටුවාගෙන ගෙවී ගිය අවුරුදු දෙක තුළ දිනා ගන්න බැරි වුණු ඉල්ලීම් ඉතිරිවී තිබෙනවා. එම ඉල්ලීම් ටිකත් දිනා ගන්න ඕනෑ. දිනා ගත් දේශපාලන බලය ආරක්ෂා කර ගනිමින්, ඒ බලය වැඩිදියුණු කරගෙන වැඩ කරන ජනතාවගේ අයිතීන් ලබාගැනීමේ නව අදියරක අපි ඉන්නේ. තව පැත්තකින් අප දිනාගත් දේශපාලන බලය ඊළඟ මැතිවරණයේ දීත් තහවුරු වන බව මෙම සභාව සාක්ෂි දරනවා. දේශපාලන බලය ආරක්ෂා කරගන්න තියෙන්නේ කාගෙන්ද? වැඩ කරන පන්තියේ ද්‍රෝහීන්ගෙන්. අපි කාගේත් ගුරුවරයා වූ ලෙනින් සහෝදරයා විසින් අවධාරණය කර තිබෙන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළේ ඉන්න ධනපති පන්තියේ ලුතිනන්ලාගෙන් බවයි. ඒ කියන්නේ, ධනපති පන්තියේ ප්‍රබලයෝ, නායකයෝ. ඒ අය ඉන්නේ ධනපති පන්තියේ ස්වරූපයෙන් නොවෙයි. තමන්ගේ වෘත්තීය සමිති අනන්‍යතාව තුළ තමන්ගේ දේශපාලන අනන්‍යතාව සඟවාගෙනයි ඉන්නේ. ඔවුන් වැඩි දෙනෙක් ඉන්නේ, ස්වාධීනයි කියන වෘත්තීය සමිතිවල. පක්ෂයක් ගාවාගෙන නැති ස්වාධීනයි කියන වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය ගැන සිතලා බලන්න. අපි හැමදාමත් ප්‍රසිද්ධියේ කිව්වේ, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය බවයි. ආරම්භයේ ඉඳලාම අපි ඒ බව ප්‍රසිද්ධියේ කිව්වා. අපේ අයිතිවාසිකම් දිනා ගන්නත්, දේශපාලන බලය දිනා ගන්නත් ඕනෑ බව අපි ප්‍රසිද්ධියේම කිව්වා. ප්රගතිශීලී මුවාවෙන්, වෘත්තීය සමිති අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඉදිරිපත් වන මුවාවෙන් ඉන්න ධනපති පන්තියේ ලුතිනන්ලාගෙන් අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනෑ. ඔවුන් මේ දක්වා අපේ ආණ්ඩුවට එරෙහිව ගත් කිසිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සාර්ථක කර ගන්න අපේ සහෝදර, සහෝදරියන් ඉඩ දුන්නේ නැහැ. ඊට අපේ ගෞරවය සහ ප්‍රණාමය වැඩ කරන පන්තියට පළ කරනවා.
ඒ ලුතිනන්ලා මේ දක්වා සිතාගෙන සිටියේ, වෘත්තීය සමිති ක්ෂේත්රයේ ඊට වැඩිය ප්‍රබලයන් නැහැ කියලයි. ඒ වාගේ වෘත්තීය සමිති කිහිපයක ක්‍රියාමාර්ග පසුගිය වසර දෙක තුළ ආවා. ඒ කිසිම ක්‍රියාමාර්ගයකට ඉදිරියට යන්න අපේ වැඩ කරන පන්තියේ සහෝදර, සහෝදරියන් ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාමාර්ග අපේ සහෝදර, සහෝදරියන් හොඳින්ම හඳුනාගෙන ඉන්නවා. ඔවුන් ක්‍රියාමාර්ගයක් තෝරන කොට ඒ යට තිබෙන අරමුණු මොනවාද කියලා අපේ අය දන්නවා. ඔළුව හංගා ගත්ත ඒ වාගේ ප්‍රතිගාමියෝ අපේ වැඩබිම්වල ඉන්නවා. ඒ අයගේ නායකයන් එළියේ ඉන්නවා. දැන් නම්, වැඩි හරියක් හිරේ. මේ යන තාලයට ඉතිරි ටිකත් හිරගෙදරට යයි වගේ. එළියේ ඉන්න නායකයන් හිස ඔසවන තුරු ඇතුළේ වැඩ කරන අය බලාගෙන ඉන්නේ. ජාතික දේශපාලනය ඇතුළේ ඉන්න ධනපති පන්තියේ ලුතිනන්ලාට එළියේ දී හිස ඔසවන්නත් ජනතාව ඉඩ දීලා නැහැ. ඒ නායකයන් ගන්න උත්සාහ කළ ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග ජනතාව විසින් යටපත් කරලා තියෙන්නේ. අපට තව අවුරුදු තුනක් පළමුවැනි වටයෙන් ඉතිරිව තිබෙනවා. වැඩ කරමින්, අපේ අයිතිවාසිකම් දිනාගෙන ඉදිරියට යන්න ඕනෑ. පාලකයෝ සතුරු නම් පමණයි, වැඩ වර්ජනය කරලා අයිතිවාසිකම් දිනා ගන්නේ. අපේ පාලනයට දැන් අවුරුදු දෙකක් වෙනවා. තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වාහනයක් නැහැ. එය අත්‍යවශ්‍යයි; දෙන්න ඕනෑ. ඒත්, තවම දීලා නැහැ. ඉස්සර නම්, රටට හෙණ ගැහුවත්, ආපු ගමන්ම ලබා ගන්නවා. අපි තිබුණු වරප්‍රසාදත් අහෝසි කළා. ප්රතිගාමී පාලකයන් වැඩ කරන පන්තියට ලබානොදී හිමි කරගෙන තිබුණු වරප්‍රසාදත් අපි අහෝසි කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රධානම එකක්. ඒක සරල වැඩක් නොවෙයි. කාලය අවුරුදු පහක් වුණත්, පාර්ලිමේන්තුවට දවස් විස්සක් ගියා ම විශ්‍රාම වැටුපක් හිමි වන තත්ත්වයක් තිබුණේ. මන්ත්‍රීකම වලංගු වී පවත්වාගෙන යන්න මාස තුනකට දවසක් ගියාම ඇති තත්ත්වයක් තිබුණේ.
වැඩ කරන ශ්‍රමිකයන් නොවන ගොවි ජනතාවටත් අපි බොහෝ දේ ලබා දී තිබෙනවා. පෞද්ගලික අංශයේ සහ වතු ක්ෂේත්රයේ සියලු දෙනාටත් යමක් ලබා දී තිබෙනවා. එය ප්‍රමාණවත් නැති බව ඇත්ත. මේ අයවැයෙන් තවත් වැටුප් වැඩි වීමක් ලබා දෙනවා. තවත් සරලව කියනවා නම්, මහජන නියෝජිතයන්ට කන් හැන්දකින්වත් දෙයක් ලබා නොගෙන පවතින තත්ත්වය ඇතුළේ ජනතාවට බැකෝවලින් ලබා දුන්නේ. ඒ නිසා වැඩ නතර කිරීම මේ මොහොතේ අපට අදාළ නැහැ. ගැටලු සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ වාගේම ඇමැතිවරුන් සමඟත් සාකච්ඡා ලබා දෙමින් සිටිනවා. මේ ආණ්ඩුව බලයට ගේන්න අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය දැවැන්ත කැප කිරීමක් කළා. ආයතනවල සභාපතිවරුන් ඇතුළු වගකිව යුතු තැන්වල සිටින සියලු ම දෙනා ඒ බව හොඳින් මතක තබාගෙන ක්‍රියා කළ යුතුයි. අපේ සහෝදර, සහෝදරියන් සියලු දෙනාද මේ තත්ත්වය අවබෝධ කර ගනිමින්, රට ගොඩනැඟීමට සියලුම ශක්තිය ඔවුන්ට ලැබේවායි ප්‍රාර්ථනය කරනවා.”
















