ජනතාවාදී ආණ්ඩුවක් ලෙස අපි සියලු දෙනාටම අවශ්‍ය වන්නේ යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම යැයි කම්කරු ඇමැති, ආචාර්ය අනිල් ජයන්ත අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 07 වනදා බොරැල්ල පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු ඇමැති, ආචාර්ය අනිල් ජයන්ත,
“වැඩ කරන ජනතාවගේ කාර්යභාරය වාගේම ඉල්ලීම් දිනාගැනීමත් පවතින සන්දර්භයට සාපේක්ෂව තේරුම් ගන්න ඕනෑ. අපි ආණ්ඩුව පිහිටුවන්න කලින් පැවැති පාලනයන් තුළ වැඩි ප්රතිලාභ අත් වූයේ ප්රාග්ධනය හිමි කණ්ඩායම්වලට. එවැනි තත්ත්වයක දී අරගලත් කරන්න සිදු වන්නේ අයිතිවාසිකම් රැක ගනිමින්, වැඩබිමේ ආරක්ෂාව සහ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්. තවත් විදියකට කියනවා නම්, ගැටුම්කාරී අරගලයක් කළ යුතු වුණා. ඒ අරගලවලින් ජයග්‍රහණ මෙන්ම පරාජයනුත් ලැබුවා. ඒ සියලූ අවස්ථාවල දී අරගල කළේ ගැටුම්කාරී පාලනයක් එක්ක. දැන් අපි සිටින්නේ රට සම්පූර්ණ පරිවර්තනයක් කරා ගෙන යන අදියරක වාගේම ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගන්නා අදියරක. මේ වන විට අපේ ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරයේ දැඩි විශ්වාසයක් සහ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ඉහළම පිළිගැනීමක් ලැබී තිබෙනවා. මීළඟ අභියෝගය තිබෙන්නේ අත්පත් කර ගන්නා ස්ථාවරත්වයන් පරිවර්තනයක් කරා මෙහෙයැවීමයි. නිෂ්පාදන කාර්යය වෙනුවෙන් ශ්‍රමය සහ ප්රාග්ධනය සුවිශේෂී කාර්යයක් ඉටු කරනවා. අපට තව දුරටත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරමින්, ප්රාග්ධනය සමඟ ගැටීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමකාමී පරිසරයක් තුළ මනා අවබෝධයකින් යුතු සම්බන්ධතා ගොඩනඟා ගැනීම අවශ්‍යයි. ප්රාග්ධනය විසින් ගොඩනඟන ධනය නැවත නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් තුළ වේගවත්ව යෙදිය යුතු වෙනවා. නිෂ්පාදන ඵලදායීතාව ඉහළ දමාගත යුත්තේ, මේ ආකාරයේ සැලැසුම් සහගතවයි.
පරිවර්තනීය යුගයකත් අපේ සම්පූර්ණ ඉල්ලීම් නොලැබී තිබෙන්න පුළුවන්; අපේ සියලුම ජයග්‍රහණ එකවර නොලැබී යන්න පුළුවන්. නමුත්, අධිෂ්ඨානශීලීව පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනෑ, නිෂ්පාදනයේ වටිනාකම සහ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දමා ගනිමින්, ඵලදායීතාව වැඩි කර ගැනීම පිළිබඳ අරගලයක් අප තුළ තිබෙන්න ඕනෑ. මේ බව ආයෝජකයන්ටත් නිසි ආකාරයෙන් සන්නිවේදනය කළ යුතුයි. ජාතික කම්කරු උපදේශන සභාව තුළ මේ වෙනුවෙන් වූ සාකච්ඡා පැවැත්වෙනවා. ආයෝජකයන්ටත් එය අලුත් තත්වයක්. ශ්‍රමිකයන්ට, ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර සංවිධානවලටත් කම්කරු නීති වැදගත් වෙනවා. අතීතයේ දී නීතිය වැඩිපුර උදවු කළේ ප්‍රාග්ධන හිමිකාරිත්වයේ පැත්තට. දැන් අපි සේවකයාට නීතියේ වාසිය වැඩිපුර ලැබෙන පැත්තට වඩාත් සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් පරිවර්තනය කළ යුතුයි. ලෝකයේ නිෂ්පාදන ඉදිරියට යමින් තිබෙන්නේ, පැරැණි සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා බොහෝ සෙයින් ඉදිරියට පැමිණි තත්වයක් තුළ. වැඩ කරන ජනතාවට හිතකාමී වැඩ පරිසරයක් තුළ සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් විය යුතුයි. මේ වෙනුවෙන් වන සාකච්ඡා සහ පරිවර්තනීය කි‍්‍රයාමාර්ග හොඳින් සිදු කරමින් සිටිනවා. ජනතාවාදී ආණ්ඩුවක් ලෙස අපි සියලු දෙනාටම අවශ්‍ය වන්නේ යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමයි.
මේ අරමුණ කරා යාමේ දී ශ්‍රමයේ අභිමානයට අබමල් රේණුවක තරමින්වත් ගැටලුවක් වීමට ඉඩ තබන්නේ නැහැ. ඒ වෙනුවට ශ්‍රමයේ හැකියාව ඉහළට ඔසොවා තබනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරන්නේත්, මේ ඉලක්කයමයි. පරිපාලනමය ගැටලු නිසා සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ සිදු වන ක්ෂයවීම් අවම කර ගැනීමට අපි කි‍්‍රයා කරමින් සිටිනවා. රාජ්‍ය නොවන ආයතනවල සාමුහික ගිවිසුම් ඒකමතියක් තුළ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ සේවක අයිතීන් ආරක්ෂා කිරීම මූලිකම පදනමයි. ශ්රමයට ලැබෙන ප්රතිලාභවලින් වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා ගන්න තවමත් නොහැකියි. සමස්ත පරිවර්තනයක් සිදු කර ප්රතිලාභ ලබා ගැනීමට බලා සිටිනවා වෙනුවට සිදුකරන පරිවර්තන අවකාශය තුළ ලබාදිය හැකි ප්රතිලාභ උපරිමයෙන් ලබා දෙනවා.
විශේෂයෙන්ම අයවැය යෝජනාවල දී රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැටුප් වැඩි කළේ ඒ නිසයි. අවසන් වශයෙන් අපේ ඉලක්කය මනුෂ්‍යත්වයට ගරු කරන ශ්රමයට නිසි වටිනාකමක් ලබා දෙන නිෂ්පාදන කි‍්‍රයාවලියක් සහ ඒ තුළ යහපත්, සුන්දර සමාජයක් නිර්මාණය කර ගැනීමයි. ඒ අධිෂ්ඨානය හැම කෙනකු තුළම ස්ථාපනය කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”

















