සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින චමින්ද කුමාර කුලරත්නගේ පත්වීමේ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වනවිට සිදුවෙමින් පවතින විමර්ශනවලට අදාළව වාචික ප්‍රකාශ ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පරිපාලන අංශයේ සහ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේ සේවය කරන සහ සේවය කළ නිලධාරීන් රැසක් අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
චෝදනා සහ වැඩ තහනම
මූලික විමර්ශන වාර්තාවලට අනුව, සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර තනතුර ලබා ගැනීම සහ එය ස්ථීර කර ගැනීම, හිමි නොවන වැඩි වැටුප් පරිමාණයක් ලබා ගනිමින් රජයට මූල්‍යමය අලාභයක් සිදු කිරීම සහ රාජ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝනය කිරීම යන චෝදනා මත 2026 ජනවාරි 26 වන දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කාරක සභාවේ තීරණයකට අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කෙරිණි. පසුව 2026 පෙබරවාරි 02 වන දින ඔහු වෙත විධිමත් චෝදනා පත්‍රයක් ද භාර දී ඇත.
බඳවා ගැනීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා
2023 ජූනි මස පැවති පුරප්පාඩුවක් සඳහා පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයෙන් පසුව චමින්ද කුමාර කුලරත්න මෙම තනතුරට තෝරාගෙන තිබුණි. කෙසේ වෙතත්, අදාළ බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සහ විමර්ශනවලදී පහත සඳහන් කරුණු අනාවරණය වී ඇත:
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය: රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රීති උල්ලංඝනය කරමින් බාහිර රාජ්‍ය නිලධාරියෙකු සහභාගී කර නොගෙන, එවකට සිටි කථානායක, අග්‍රාමාත්‍ය, සභානායක, විපක්ෂ නායක ඇතුළු දේශපාලනඥයන්ගෙන් පමණක් සමන්විත මණ්ඩලයක් මගින් සම්මුඛ පරීක්ෂණය පවත්වා තිබේ.
අත්දැකීම් නොමැති ක්ෂේත්‍ර සඳහා ලකුණු දීම: ඔහු කිසිදිනෙක අධිකරණ සේවයේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර නොමැති වුවද, ඊට අදාළවද ලකුණු ලබා දී තිබූ බව අනාවරණය වී ඇත.
පත්වීම් ලිපියක් නොමැතිව වැටුප් ගෙවීම: 2023 සැප්තැම්බර් 15 වන දින වැඩ භාරගත්තද, ඔහුට තාවකාලික පත්වීම් ලිපියක් පවා නිකුත් කර ඇත්තේ 2024 මැයි 07 වන දිනයි. නමුත් 2023 නොවැම්බර් සිටම ඔහුට වැටුප් ගෙවා තිබීම රාජ්‍ය සේවා රෙගුලාසිවලට පටහැනිය.
වැඩි වැටුප් තලයක පිහිටුවීම: දැන්වීමේ සඳහන් ආරම්භක මූලික වැටුප වූ රු. 98,650.00 වෙනුවට, ඔහු කලින් දැරූ දේශපාලන තනතුරුවල වැටුප් පියවර සැලකිල්ලට ගනිමින් රු. 104,500.00 ක මූලික වැටුපක් ලබා දී ඇත.
සේවා කාලය ස්ථීර කිරීමට දැරූ උත්සාහය
ඔහු මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණතුංග යන හිටපු මන්ත්‍රීවරු යටතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ලෙසද සේවය කර ඇත. එම තනතුරු සියල්ල දේශපාලන/කොන්ත්‍රාත් පදනමේ තනතුරු වූ අතර, ඒවා ස්ථීර රාජ්‍ය සේවයේ තනතුරු නොවේ.
කෙසේ වෙතත්, තමා ස්ථීර රාජ්‍ය සේවයේ සිටි බව දක්වමින් වසරකින් සේවය ස්ථීර කරවා ගැනීමටත්, 2020-2023 කාලයේ දැරූ කොන්ත්‍රාත් තනතුරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත එකක් ලෙස එකතු කර ගැනීමටත් ඔහු උත්සාහ කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීම්වලදී තහවුරු වී තිබේ.
මූලික විමර්ශනය
තොරතුරු දැනගැනීමේ පනත (RTI) ඔස්සේ ලද ඉල්ලීමකට අනුව නිකුත් කළ තොරතුරු සහ ලිපිගොනුවේ තොරතුරු අතර පරස්පරතාවයක් මතු වීම නිසා, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කාරක සභාවේ තීරණය මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ මගින් මූලික විමර්ශනයක් පවත්වන ලදී.
කථානායක සමග පවතින පෞද්ගලික අමනාපයක් මත මෙම විමර්ශනය සිදුවන බවට චමින්ද කුලරත්න චෝදනා කළද, මෙම සියලු විමර්ශන සහ වැඩ තහනම් කිරීමේ තීරණ ගෙන ඇත්තේ කථානායක, අගමැති සහ විපක්ෂ නායක ඇතුළු පිරිසගෙන් සමන්විත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව විසිනි.
දැනට සිදුවන අල්ලස් කොමිසමේ විමර්ශනවලට අමතරව, ඉදිරියේදී පැවැත්වෙන විධිමත් විනය පරීක්ෂණයේදී තමාගේ නිර්දෝෂීභාවය තහවුරු කර ගැනීමට චමින්ද කුමාර කුලරත්නට අවස්ථාව හිමිවනු ඇත.










