හිටපු ඇමති විමල් වීරවන්සට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අයතා වත්කම් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (03) දින නියම කර තිබේ.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී එම නඩුවේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ අංක 21, 22, 25 සහ 38 යන සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
ඊට අමතරව පැමිණිල්ලේ සියලුම සාක්ෂිකරුවන් හට නොතීසි නිකුත් කිරීමටත්, එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියම කර තිබේ.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින්, අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් විමල් වීරවන්සට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.










