අගෝස්තු 06න් පසු වැසි තත්වයේ වැඩිවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අගෝස්තු 06න් පසු වැසි තත්වයේ වැඩිවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

පැසිෆික් මුහුදේ ජපානයට පහළින් වර්ධනය වන සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අගෝස්තු 06 වැනිදායින් පසුව නැවතත් දිවයින හරහා හමන සුළං ධාරා වේගවත් විය හැකි බවත්, අගෝස්තු 06 වැනිදායින් පසුව දින කිහිපයක් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද නැවත වැසි තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසයි.

පවතින එල්-නිනෝ තත්වය හේතුවෙන්, අගෝස්තු මාසයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාවට වඩා අඩු වැසි ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි කලින් පුරෝකථනය කර තිබූ නමුත්, නිරිතදිග මෝසම අවසන් වන කාල සීමාව වන සැප්තැම්බර් මාසයේදී පැසිෆික් සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවයක් ඇති විය හැකි බැවින්, නිවැරදිව පුරෝකථනය කිරීම සංකීර්ණ වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඉහළ මධ්‍යම වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය සහ සුළඟේ වේගය වැඩිවීමත් සමඟ වායුගෝලයේ තිබුණු ජලවාෂ්ප මධ්‍යම කඳුකරයට තල්ලු වී යාමෙන් තද වැසි තත්වයක් හටගෙන ඇති බවද, මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට වැඩි වැසි ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

අද (03) රාත්‍රියේ සහ හෙට (04) අලුයම් කාලයේදීත් මහනුවර, නුවරඑළිය, සබරගමුව සහ බස්නාහිර පළාතේ සමහර කොටස්වලට වැසි පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, හෙට දහවල් කාලයෙන් පසුව පවතින වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn