පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි… – නීතිඥ හේමක සේනානායක

පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි… – නීතිඥ හේමක සේනානායක

පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවන බව නීතිඥ හේමක සේනානායක අවධාරණය කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (28) ජනවරමේ නීතිඥයෝ සංවිධානය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ හේමක සේනානායක,

ප්‍රශ්නය: තුනෙන් දෙකක ජනවරමක් ආණ්ඩුවට ලබාදී තිබෙන්නේ අවශ්‍ය නීති සංශෝධනය කරන්න. එහෙම නම් පිරිසක් කළබල වෙලා ඉන්නේ ඇයි? ඒ පිරිස කලබල වීම අනුව ඔබතුමන්ලාත් කලබලවී ඉන්නේ ඇයි?

පිළිතුර: කිසිම කලබල වීමක් අපට නැහැ. පසුගිය ආණ්ඩු වගේ මේක ඒකාධිපති ආණ්ඩුවක් නොවෙයි. නමුත් ඔබතුමන්ලාට අපිට පසුගිය ආණ්ඩු ගැන අත්දැකීම් තිබෙනවා. කැස්බෑව ප්‍රදේශයේ දේශපාලනඥයෙක් සම්බන්ධ නඩුවක තීන්දුව ලබා දීමට දින තුනකට පෙර නඩුව ඉල්ලා අස්කර ගත් අතීතයක් තිබුණා. ඒ වගේම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවලට අටවන විධායක ජනාධිපතිවරයා ”අධිකරණ ම්ලේච්ඡත්වය” වශයෙන් හැඳින්වූ හැටි අපට මතකයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා ලබාදුන් තීන්දු සම්බන්ධයෙන් එම විනිසුරුවරුන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට කතා කළ ආකාරය අපට මතකයි. විවියන් ගුණවර්ධන සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව නිසා විනිසුරුවරුන්ගේ නිල නිවාසයවලට ගල් ගැසූ හැටි අපට මතකයි. ඒ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නයි, ජාතික ජන බලවේගය ආණ්ඩුව කි‍්‍රයා කරන්නේ. ඡුන්දය අවසන් වූ පසු පුංචි හරි පශ්චාත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් නැති වෙන තත්වයට දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කර තිබෙනවා.

එහි තවත් පියවරක් තමයි මේ තියන්න සූදානම් වෙන්නේ. ප්‍රශ්නය අහපු මාධ්‍යවේදියාටත් හිතෙන්න පුළුවනි, විධායක ජනාධිපති ධුරය සහ 159 පාර්ලිමේන්තු බහුතර බලය ලබාගෙන එක රැයෙන් මේ පනත සම්මත කර ගන්න පුළුවන් කියලා. නමුත් මේ රජය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව විවේචනවලට අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් කඩාකප්පල්කාරී ක්‍රියා විතරයි කරන්න බැරි. අපේ නීතිඥ තුමෙක් පෙන්වා දුන් පරිදි මේ සංශෝධනයට විරුද්ධ වෙන්න හේතු වූ කරුණු ඉදිරිපත් කරනවා නම්, අපි ඒවාට ඇහුම්කන් දෙන්න සූදානම්. අත්තනෝමතික ඒකාධිපති ගමනක් යන්න මේ රජය සූදානම් නැහැ.

ප‍්‍රශ්නය: මාධ්‍ය හමුවකදී ශිරාල් ලක්තිලක මහත්මයා ප්‍රකාශ කර තිබුණා, විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට විරුද්ධ නොවෙන බවත් නමුත් මේ සංශෝධන ගෙන එන ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව. එහෙම ගැටලුවක් තිබෙනවාද?

පිළිතුර: අපි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ කාටවත් උත්තර දෙන්න නොවෙයි. ජනතාවට කරුණු පැහැදිලි කරන්නයි. යම් කෙනෙක් ක්‍රමයේ වරදක් තිබෙන බව කියනවා නම් හරි ක්‍රමය මොකක්ද කියලා කියන්නත්  ඕනෑ. ජනතා පරමාධිපත්‍යය කියන්නේ මොකක්ද කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වැනි ව්‍යවස්ථාවල පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම 105  සහ 106 ව්‍යවස්ථාවල අධිකරණය කුමක්ද කියලා 107 සිට 117 වන ව්‍යවස්ථාව දක්වා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවත් කරුණු දක්වා තිබෙනවා. මේ වගන්ති අතරේ 107(V* ව්‍යවස්ථාව තමයි සංශෝධනය කරන්න යන්නේ. උපරිමාධිකරණවල සහ ප්‍රාථමික අධිකරණවල සියලුම ගරු විනිසුරුතුමන්ලා විශිෂ්ට සේවයක් කරනවා. මේ තිබෙන්නාවූ විශිෂ්ට සේවය ජනතාව ගැන හිතලා තව අවුරුදු දෙකකින් වැඩකර දෙන ලෙසයි, ඉල්ලා සිටින්නේ.

මේ රටේ දේශපාලනඥයන් විසින් දීර්ඝ කාලයක් කරන ලද වංචා, දූෂණ සහ හොරකම් හේතුවෙන් ජනතාවගේ ජීවිත වෙනුවෙන් ලබාගත යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ලබා ගත නොහැකි තත්වයට පත්වුණු බව ඔවුන් තේරුම් ගත්තා. මේ නිසා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලලා ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ක්‍රියාත්මක කර ගැනීම සඳහා අධිකරණය ඍජුව කටයුතු කළ යුතුයි. කැස්බෑව ප්‍රදේශයේ දේශපාලනඥයාගේ නඩුව වගේ වෙන්න බැහැ. අධිකරණයට ගල් ගැසීම් වගේ දේවල් වෙන්න බැහැ. ”අධිකරණ ම්ලේච්ඡත්වය” වගේ ප්‍රකාශ සිදු කරන්නත් බැහැ. අන්න ඒ පදනමේ සිට ගරු විනිසුරුතුමන්ලාගේ සේවය තව අවුරුදු දෙකකින් දීර්ඝ කර දෙන්න කියලයි මේ සංශෝධනය ගෙන එන්නේ. ඒ ක්‍රමය වැරදියි නම්, කරුණාකරලා හරි ක්‍රමවේදය අපට කියා දෙන්න.

මම උදාහරණයක් කියන්නම්, වයඹ පළාතට තිබෙන්නේ කුරුණෑගල පළාත් බද මහාධිකරණය පමණයි. උතුරු මැදට තිබෙන්නේ අනුරාධපුර මහාධිකරණය පමණයි. ඌවට තිබෙන්නේ බදුල්ල පමණයි. මධ්‍යම පළාතට තිබෙන්නේ නුවර පමණයි. මහාධිකරණ විනිසුරුවරුන් 93ක් පමණයි ඉන්නේ. සමහර විනිසුරුවරුන් අධිකරණ ස්ථාන දෙකක වැඩ කරනවා. එක විනිසුරුවරයෙක් අම්පාර සහ බදුල්ල මහාධිකරණ දෙකේම වැඩ කළා. මහාධිකරණවල සිටිය යුතු විනිසුරුවරු සංඛ්‍යාව 110ක් වුවත් දැනට ඉන්නේ 93ක් පමණයි. ඒ සංඛ්‍යාව 120 දක්වා වැඩිකර උසස්වීම් ලබා දෙන්න යෝජනා වී තිබෙනවා. ගරු අභියායචනාධිකරණ විනිසුරුවරු 20 සිට 25 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. විශ‍්‍රාම වයස් සීමාව ඉහළ දැමීම ඒ පුළුල් සංශෝධනවල එක් සාධකයක් පමණයි. 2024 ජනතා වරම ක්‍රියාත්මක කිරීමේ නිවැරදි ක්‍රමය මේ ආකාරයෙන් පවතින බවයි අපේ මතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්