සමුපකාර සමිතිවලට මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක වී වේලන යන්ත්‍ර 50ක්

සමුපකාර සමිතිවලට මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක වී වේලන යන්ත්‍ර 50ක්

දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත, රුපියල් මිලියන 10 බැගින් වන නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පවසයි.

මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම සහ සමුපකාර ක්ෂේත්‍රය දේශපාලන බලපෑම්වලින් තොරව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රජය විසින් සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් දැනටමත් දියත් කර ඇත.

පැවති දේශපාලන හිතවත්කම් මත ප්‍රතිපාදන බෙදාහැරීමේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කරමින්, වඩාත් ක්‍රියාශීලී සහ ස්ථාවර මට්ටමක පවතින සමුපකාර සමිතිවල ප්‍රගතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමට රජය මෙලෙස පියවර ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ, එම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින්, අයහපත් කාලගුණික තත්වයන් හමුවේ වී වේලීමට එල්ල වන බාධා සහ මහා මාර්ග අයිනේ වී වේලීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු සැලකිල්ලට ගෙන රජය ඒ සදහා සෘජුව මැදිහත් වීමට ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙසය.

නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් වී වේලන යන්ත්‍ර අවශ්‍ය සමූපකාර සමිතිවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර මේ තුළින් ගොවීන්ට තම අස්වනු සමූපකාර වෙත අලෙවි කර ඉහළ මිලක් ලබා ගැනීමටත්, සමූපකාර සාමාජිකත්වය හිමි ගොවි ජනතාවට ඉතා පහසුවෙන් අදාළ වියලන යන්ත්‍ර භාවිත කර තම අස්වනු වියළා ගැනීමටත් අවස්ථාව සැලෙසන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පවසයි.

පසුගිය මහ කන්නයේදී වාර්තාගත වී අස්වැන්නක් ලැබුණු අතර, මෙම යල කන්නයේදීද ගොවීන් විශාල වශයෙන් වී වගා කර තිබෙන බැවින් රට තුළ කිසිඳු සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බවද, වී අලෙවි මණ්ඩලය සතු සියලු ගබඩා වහා විවෘත කරමින් සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මුදලකට මිලදී ගැනීම සඳහා වන කටයුතු කඩිනම් කිරීම අරඹා ඇත.

රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් වෙළෙඳපොළ තුළ සාධාරණ තරඟකාරීත්වයක් ඇති කර, පාරිභෝගිකයාට සහනදායි මිලකට සහල් ලබාදීමටත්, පෞද්ගලික අංශයද ගොවීන්ට සාධාරණ මිලක් ගෙවන තත්වයට පත් කිරීමටත් කටයුතු කිරීම අපේක්ෂාව බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්