ගෝටාබයගේ හිටපු ලේකම් සුගීෂ්වරගේ රු. කෝටි 28ක් පිළිබඳ විමර්ශන…

ගෝටාබයගේ හිටපු ලේකම් සුගීෂ්වරගේ රු. කෝටි 28ක් පිළිබඳ විමර්ශන…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස සහ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එකවර වැටුප් 02ක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් රුපියල් විසිඅටකෝටි හතලිස්හතර ලක්ෂ දාහතරදහස් අටසියයක (රු. 284,414,800) මුදලක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ දූෂණය නැමති වරද යටෙත්ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු 2022 ජූලි 14 සිට 2024 පෙබරවාරි 21 දක්වා ඔහු රුපියල් දහනවලක්ෂ තිස්තුන්දහස් හැටපහක (රු. 1,933,065) මුදලක් දීමනා ලෙස ලබාගෙන තිබේ. එම කාලය තුළදීම, එනම් 2022 ජූලි 25 සිට 2024 සැප්තැම්බර් 22 දක්වා විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඔහු වැටුප් සහ දීමනා වශයෙන් රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසිය අසූ හතක (රු. 4,226,884) මුදලක් ලබාගෙන තිබේ.

එසේම ඔහු ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස නිලධාරීන් 135 දෙනකු අනුයුක්ත කරගැනීමටද කටයුතු කර ඇති අතර, එම කාර්යමණ්ඩලය සඳහා වැටුප් සහ දීමනා ලෙස රුපියල් දාහත්කෝටි හයලක්ෂ අනූදෙදහස් හයසිය හතක (රු. 170,692,607) මුදලක් ලබාදී තිබේ. WP CAC – 4769 අංක දරන අවුඩි වර්ගයේ මෝටර් රථයේ නඩත්තු වියදම් වෙනුවෙන් මේ කාලයේදී රුපියල් නවලක්ෂ පන්දහස් නවසිය පනස් තුනක (රු. 905,953) වියදමක්ද ඔහු වෙනුවෙන් දරා ඇත.

සුගීෂ්වර බණ්ඩාර 2022 සිට 2024 දක්වා අවස්ථා 08කදී නිසි අනුමැතියක් ලබා නොගෙන විදේශගත වී ඇති අතර මේ විදේශගතවීම් සඳහා නිවාඩු අනුමත කර නොගෙන වුවද එම කාලයට අදාළ වැටුප් සහ දීමනා සියල්ල ලබාගෙන ඇත. ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂ ව්‍යාපෘති අංශයට වාහන 16ක් වෙන් කර ඇති අතර ඒ අතරින් වාහන 09ක් නිලධාරීන්ටද, ඉතිරි වාහන 09 සංචිතයටද අනුයුක්ත කර තිබේ. මෙසේ සංචිතයට වෙන් කළ වාහන සඳහා සතියකට රුපියල් එක්ලක්ෂ හැටපන්දහසේ (රු. 165,000) සිට රුපියල් දෙලක්ෂ හැටපන්දහස (රු. 265,000) දක්වා වටිනාකමකින් යුත් ඉන්ධන කූපන්පත් ලබාදී තිබේ. මෙසේ ලබාදී තිබූ රුපියල් එක්කෝටි අසූහයලක්ෂ අසූදහසක් (රු. 18,680,000) වටිනා ඉන්ධන කූපන්පත් එම කාර්යාලයේ කටයුතුවලට භාවිත වූයේද යන්න සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නැත.

මේ විශේෂ ව්‍යාපෘති අංශයට අදාළ 2023 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වන ආකාරයට එහි එක් කාර්යයක් වන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්, එම පෙරමුණේ සංවිධායකවරුන්, එම පෙරමුණට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් සම්බන්ධීකරණයයි. ඒ අනුව මේ කාර්යාලයට අනුයුක්ත කර තිබූ 137ක කාර්ය මණ්ඩලය මේ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්, ඒ සඳහා රුපියල් විසිහතරකෝටි නවලක්ෂ හැත්තෑහයදහස් දෙසිය අනූ එකක (රු. 240,976,291) මුදලක් වැය කර ඇති බවත් අනාවරණය වී තිබේ. මේ සියල්ල රාජ්‍ය මුදල් අයථා පරිහරණය කිරීම්ය.

Facebook
Twitter
LinkedIn