`රණවිරු දඩයම’ යනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කරමින්, දේශපාලන ප්‍රචාර දියත් කරමින් සිටින රාජපක්‍ෂ පවුල ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම් විසින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කරන අතර, සත්‍ය තත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස් බව අධිකරණය ඉදිරියේ හෙළි වී තිබේ.
යෝෂිත රාජපක්‍ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊයේ (17) මේ බවට සාක්‍ෂි හෙළි විය. යෝෂිත රාජපක්‍ෂ වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතිඥ මණ්ඩලය කරුණු දැක්වීමේ දී, නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන් වෙත අදාළ චෝදනා බැර කර තිබිණි.
යෝෂිත රාජපක්‍ෂගේ නීතිඥයන් විසින් සඳහන් කරනු ලැබ තිබුණේ, “ස්වාමීනි, මගේ සේවා දායකයාට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ල කරන්නට බැහැ. ඕනෑම පුද්ගලයකුට පාඨමාලාවකට අයැදුම් කරන්න පුළුවන්. සුදුසුකම් තිබෙනවා නම් පමණයි, තෝරා ගන්නේ. ඒ වාගේ මගේ සේවා දායකයාත් මේකට අයැදුම් කළා. ඔහුව තෝරාගෙන තිබෙනවා. ඒකට ඔහුට කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා ඔහු පිට වරදක් පටවන්න බැහැ.” යනුවෙන් කරුණු ඉදිරිපත් කර ඇත. මෙම නීති තර්ක හමුවේ එවකට සිටි නාවික හමුදාපති සහ බඳවා ගැනීමේ නිලධාරීහු වගඋත්තරකරුවන් බවට පත් වෙති.
මීට අමතරව රනිල් වික්‍රමසිංහ පත් කරන ලද ජනාධිපති ලෙස සිටි සමයේ ලන්ඩන් ගිය පෞද්ගලික සංචාරයකට මහජන මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවේ දී ද ඔහුගේ නීතිඥයන් විසින් එම මුදල් වියදම් කිරීම පිළිබඳ වගකීම එවකට සිටි ජනාධිපති ලේකම් වෙත පවරනු ලැබී ය.










