සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහින්ද රාජපක්‍ෂ පාලනයේ රැකවරණ ඇතිව සිදු කළ ඝාතන රැසක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු හෙළි වීතිබේ.
පසුගිය 15 වැනි දින මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනවල දීසොයාගත් කරුණු රැසක් හෙළි කර තිබිණි.
එමකරුණු ‘මව්බිම’ වෙබ්අඩවියෙන්උපුටාගෙනපහතදැක් වේ:
පිල්ලේයාන්ට තවත් මිනි මැරීමේ චෝදනා 3ක්: CIDය අධිකරණයට කරුණු වාර්තා කරයි
නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව මිනි මැරීම් තුනක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි ඊයේ (ජුනි 15) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ, 2008.01.09 දින මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2008.05.22 දින කාත්තන්කුඩි ප්‍රධාන වීදියේ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් ඝාතනයක් සම්බන්ධයෙනි.
නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර තිබේ.
2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති ඝාතන වන්නේ, 2008 ජනවාරි 09 වන දා මඩකලපුව, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී ශක්ති සහ රමේෂ් යන පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.
2008 මැයි 22 වන දා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේ සෙයිනි මවුලානා පල්ලිය අසලදී ශාන්තන් සහ ඔහුගේ ආරක්ෂකයා යන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කළේ තමා බවට ශාන්තන් විසින් රැස්වීමකදී ප්‍රකාශ කිරීම හේතුවෙන් උරණ වූ පිල්ලෙයාන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.
2008 අගෝස්තු 20 වන දා වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී අලගතුරෙයි ධර්මලිංගම් (පෝඩියාර්) යන අයව නිවසින් පිටතට කැඳවාගෙන ගොස් අවිගත් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීම.
මෙම අපරාධයන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය යටතේ කියවිය යුතු 102, 113 (ආ), 296 යන වගන්ති මෙන් ම, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 (1) (අ), 3, 5 (අ) යන වගන්ති යටතේ සැකකරුවන් විසින් බරපතළ වැරදි සිදුකර ඇති බවට අධිකරණයට වාර්තා කර තිබේ.
මෙම අපරාධයන්ට අදාළව සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇත.
ඒ අනුව, පළමු සැකකරු වන රාසික් මොහොමඩ් ෆායිස් හෙවත් ‘පොලිස් ෆායිස්’ නමැත්තා විමර්ශන ආරම්භ වන විටත් සිය පවුලේ සාමාජිකයන් ද සමග මෙරටින් පළා ගොස් එංගලන්තයේ විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඡන්ද හිමි නාමලේඛනයෙන් ද ඉවත් කර ඇති මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.
අනෙක් සැකකරුවන් දෙදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන එනම් 2025 අගෝස්තු 13 සහ නොවැම්බර් 13 වන දිනවල සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ආරක්ෂක අමාත්‍යවරයාගේ රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් දෙදෙනෙකි.
මෙම අපරාධවල ප්‍රධාන වෙඩික්කරුවන් ලෙස කටයුතු කර ඇති හමීඩ් ලෙබ්බේ මොහොමඩ් සහිඩ් සහ අබ්දුල් කාදර් මොහොමඩ් සිෆාන් යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනා ඊයේ මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මෙම පුද්ගල ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ, අපරාධ මෙහෙයවූ බවට චෝදනා ලබන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ය.
ඔහු මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එස්. රවින්ද්‍රනාත් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් විශේෂ අංශය මගින් දැනටමත් අත්අඩංගුවට ගෙන වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙයි.
ඒ අනුව, මෙම නඩුව නැවත කැඳවන ඉදිරි දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
මෙම සැකකරුවන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 යටතේ ලබා දී ඇති ස්වයං ප්‍රකාශවලට අමතරව, සාක්ෂිකරුවන් රැසක් විසින් ලබා දුන් ප්‍රබල සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ගොනුකර තිබේ.
පිල්ලෙයාන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් පොලිස් ෆායිස් ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් යොදවා මිනිසුන් බිය ගැන්වීම, කප්පම් ගැනීම සහ පිල්ලෙයාන්ට විරුද්ධ වන අය ඝාතනය කළ බවට හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු වූ එම්. හුසේන් යන අය ප්‍රකාශ කර ඇත.
ධර්මලිංගම් (පෝඩියාර්) ඝාතනය මෙන් ම කල්අඩි මුරුගන් කෝවිල අසල ද්විත්ව ඝාතනය සහ ශාන්තන් ඝාතනය මෙම පිරිස විසින් සිදුකරනු තමා දුටු බව ද හුසේන් සාක්ෂි දී තිබේ.
මීට අමතරව, 2006 වසරේදී පොලිස් ෆායිස්ගේ මාර්ගයෙන් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ වී ටී-56 අවි ලබාගත් බවට එම්. රිස්වාන් නමැත්තා ද සාක්ෂි සපයා ඇත.
පිල්ලෙයාන්ගේ නියෝග මත මෙම කණ්ඩායම අපරාධ රැසක් සිදුකළ බවට පිල්ලෙයාන් යටතේ දේශපාලන කටයුතු කළ ඒ. එස්. කන්නා යන අය ද තහවුරු කර ඇත.
ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සඳහා පිල්ලෙයාන් විසින් ශාන්තන්ට නියෝග කළ බවට බන්ධනාගාරයේදී ප්‍රදීප් මාස්ටර් නැමැත්තා පිල්ලෙයාන් සමග පැවසූ බවට එන්. ජෙගදිස්වරන් නමැති සාක්ෂිකරුගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි අතර වෙයි.
මෙම බරපතළ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ ජාලය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ද වාර්තා කැඳවා ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් මෙහෙයවනු ලබයි.










