යෝෂිතගේ තවත් පෙත්සමක තීන්තීන්දුව ජූලි 3 වැනිදා

යෝෂිතගේ තවත් පෙත්සමක තීන්තීන්දුව ජූලි 3 වැනිදා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බවට පසුගිය 16 වනදා නිවේදනය කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් කරුණු දක්වමින් ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව සමඟ එක්ව සිය සේවාදායකයා ‘කුමන්ත්‍රණය’ නමැති වරද කළ බවට චෝදනා කරමින් නීතිපති අධි චෝදනා නඟා තිබූ බවත් නඩු ගොනු කිරීමෙන් පසු අවස්ථාවක දී ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්වයක පසු නොවන රෝගී තත්වයකින් පසු වන බවට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් පැමිණිලි පාර්ශ්වය විසින් ඇයට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඉවත් කර ගැනීමට තීරණය කළ බවත් කියා සිටියේය.

පැමිණිලි පාර්ශ්වය විසින් ඇයට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඉවත් කර ගැනීමෙන් අනතුරව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වැනි වගන්තිය යටතේ කටයුතු කරමින් මහාධිකරණ විනිසුරු විසින් එම විත්තිකාරිය නිදහස් කළ බවත් දැනුම් දුන් නීතිඥ හෆීල් ෆාරිස් වරද කිරීම සඳහා එක්ව කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබු විත්තිකාරිය අධිකරණය විසින් නිදහස් කිරීමෙන් අනතුරුව තම සේවාදායකයාට එරෙහිව පමණක් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ නඩුවක් පවරා පවත්වාගෙන යන්නේ කෙසේද? ප්‍රශ්න කළේය.

මේ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ විනිසුරු අමල් රණරාජා විත්තිකාරිය නිදහස් කර ඇත්තේ තාක්‍ෂණික හේතුවක් මත බව පෙන්වා දුන් අතර තාක්‍ෂණික හේතුවක් මත විත්තිකාරිය නිදහස් කර ඇති පසුබිමක ඇය සමඟ චෝදනා ලැබ සිටි පෙත්සම්කරුට එරෙහි චෝදනා පවත්වාගෙන යෑමට හැකියාවක් තිබෙනවා නේද?” යනුවෙන් පෙත්සම්කරුගේ නීතිඥවරයාගෙන් විමසීය.

නීතිඥ හෆීල් ෆාරිස් ඊට පිළිතුරු දෙමින් විත්තිකාරිය සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට තම සේවාදායකයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබූ නමුත් එම කුමන්ත්‍රණයට සම්බන්ධ විත්තිකාරිය නිදහස් කළ පසු තම සේවාදායකයාට එරෙහිව පමණක් එම චෝදනාව යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවත් තම සේවාදායකයාට එරෙහිව පමණක් එම චෝදනාව යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑම නීතියට පටහැණි බවත් පෙන්වා දුන්නේය.

එවැනි තත්වයක් යටතේ තම සේවාදායකයාට එරෙහිව පමණක් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑම නීතිය ඉදිරියේ බල ශූණ්‍ය බවත් තම සේවාදායකයා මෙම චෝදනාවට වරදකරු වුවහොත් තම සේවාදායකයාට වසර 07ක සිට වසර 20 දක්වා වූ සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි කී නීතිඥ හෆීල් ෆාරිස් මහතා එම තත්ත්වය හේතූවෙන් තම සේවාදායකයා මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇතැයි ද කීය.

වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කරුණු දක්වමින් පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දී එම නඩුවේ ඔහු සමඟ චෝදනා ලැබ සිටි දෙවන විත්තිකාරිය ලෙස නම්කළ ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික මට්ටමක නොමැති බවට නුගේගොඩ දිසා අධිකරණය නිගමනය කර ඇති බවට ඇගේ නීතිඥවරයා මහාධිකරණයේ අවධානය යොමු කර තිබූ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව කොළඹ මහාධිකරණයේ නියෝගයකට අනුව විශේඥ වෛද්‍යවරුන් අටදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් ඇය පරීක්ෂාවට ලක් කර ඇය ‘ඩිමෙන්ෂියා’ නමැති රෝගී තත්වයෙන් පසුවන බවත් ඇය නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්වයකින් පසු නොවන බවත් සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත් දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර එම තත්වය යටතේ පැමිණිල්ල කළ ඉල්ලීමකට අනුව ඩේසි ෆොරස්ට් නමැති විත්තිකාරියට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ඇය නිදහස් කෙරුණු බවද දැනුම් දුන්නේය.

‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාවෙන් මහාධිකරණය ඇය නිදහස් කළත් ඇය සමඟ චෝදනා ලැබ සිටි පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ නමැත්තාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත් යම් හෙයකින් මෙම විත්තිකාරිය මියගියා යැයි උපකල්පනය කළහොත් මෙම විත්තිකරු අදාළ චෝදනාවලින් නිදහස් කරනවා දැයි ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති කරුණු පදනමක් නොමැති හෙයින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති චෝදනා යටතේ එම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත් අවධාරණය කළේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සමේ විභාගය අවසන් කළ විනිසුරු මඬුල්ල නියෝගය ජූලි මස 03 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්