පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ගොනු කළ රිට් පෙත්සම් විභාග අද (18) අභියාචනාධිකරණයේදී කැඳවීමට නියමිතය.
‘චැනල් ෆෝ’ නාලිකාවෙන් හෙළි කළ තොරතුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ හා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇතැයි කියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පසුගියදා සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු දැනුම් දුන්නේය.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ අද (18) යළි සලකා බැලීමට නියමිතය.
මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම්කර ඇත.
පාස්කු ඉරුදින සිදුකරණ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂට සහ තවත් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙනෙකුට එරෙහිව විදෙස්ගතවීම්ද තහනම් කර තිබේ.










