මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (04)  පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, රෝහලේ  බාහිර රෝගී අංශය, සායන පරිශ්‍ර, රෝගි වාට්ටු, ඖෂධාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩා, රුධිර කාන්දුකරණ ඒකක, රසායනාගාර සහ ලේ බැංකු යන අංශ මෙන්ම රෝහලේ වත්මන් සංවර්ධන කටයුතුද සිය විශේෂ නිරීක්ෂණයට ලක් කරන ලදි.

මෙම පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 857කට අධික මුදලක් දැනට වැය කර ඇත. මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටුවලින් සමන්විත වේ. දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත. සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත නවීන ශල්‍යාගාර හතරක්ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2,900කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.

මෙහි දී අදහස් දක්වමින් ‌සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මොණරාගල බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 28කට ආසන්න ජනතාවකට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් විධිමත්ව සහ කාර්යක්ෂමව සැලසීම සඳහා අම්පාර මහා රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල සහ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් එකම පද්ධතියක් යටතේ සංවර්ධනය කිරීමට කටයුතු කරන බව පැවසීය.

අද විවෘත කළ පස්මහල් ගොඩනැගිල්ල 2019 අගොස්තු මස ඉදිකිරිම් ආරම්භ කර 2022 පෙබරවාරි වනවිට වසර දෙකහමාරක් තුළ ඉදිකිරීම් අවසන් කිරිමට නියමිත ව්‍යාපෘතියක් වු බවත්, එය රුපියල් මිලියන 7,93ක මුදලකින් අවසන් කිරිමට නියමිතව තිබුණ බවද ඉදිකිරිම් නතර කර තිබූ තැන සිට ඉදිකිරිම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,961ක් බවද පැවැසිය. මේ වනවිට රුපියල් මිලියන 1400ක මුදලක් ගෙවා අවසන් බවද මේ වසරේ ශල්‍යාගාර 04 හි වැඩකටයුතු අවසන් කරන බවද පෙන්වා දෙන ලදි. එමෙන්ම මේ වසරේ රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බවද වසර අවසානයේ දී මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ සේවා සපයන ස්ථානයක් බවට පත්කරන බවද පැවැසිය.

මෙවැනි අතරමඟ නැවතුණු ව්‍යාපාති 69ක් හදුනා ගත් බවද පැවසූ ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස එම ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේ දී ආරම්භක අවස්ථාවට වඩා තුන් ගුණයකින් හතර ගුණයකින් පමණ මේ වනවිට මුදල් වියදම් වන තත්වයක් ඇති වී බවද පැවැසිය. කෙසේ වුවද සියලු ව්‍යාපෘති අවසන් කිරිම සඳහා භාණඩාගාරයෙන් මුදල් වෙන් කරන බවද මේ වසරේ සහ ලබන වසරේ අවසන් කිරිමට නියමිත ව්‍යාපෘතිවල සමස්ත පිරිවැය එකතුව රුපියල් බිලියන 59ක් බවද සෞඛ්‍ය ඇමති මෙහිදී සඳහන් කළේ ය. එම ව්‍යාපෘති 59 නියමිත කාලයේ අවසන් කළා නම් රුපියල් බිලියන 28කින් අවසනක් කළ හැකිව තිබූ බවද මුදල් නිසි පරිදි වෙන් නොකිරිම නිසා පටන්ගත් වැඩ අවසන් කිරිමට මේ වනවිට බිලියන 45 යෙදීමට සිදුව ඇතැයි පැවසීය.

ගොඩනැගිලි පමණක් ඉදිකිරීම් සිදු නොකරන බව පැවසූ අමාත්‍යවරයා එම ගොඩනැගිලි සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද ලබාදීමටත් විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවද පැවසීය.

ලබන වර්ෂය තුළදී මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලකට නවීන සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 317ක සංවර්ධන ව්‍යාපෘතිද රෝහල තුළ දියත් කරන බව සඳහන් කර සිටියහ.

රෝහලේ සේවාවන් විධිමත්ව නියමිත පරිදි පවත්වා ගෙන යාම සඳහා ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබදව රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රදේශයේ ජනතාව විසින් ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ පිළිබදව විශේෂ අවධානය යොමුකළ ඇමති, 2019 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දමා තිබූ මෙම ගොඩනැලි සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වන මුදල් වෙන්කරන මෙන් නිලධාරින්ට ලබා දුන් උපදෙස් මත ක්‍රියාත්මක වී මෙහි ඉදිකිරිම් නැවත ආරම්භකර කඩිනමින් අවසන් කිරීමට පියවර ගනු ලැබීය.

මෙහිදී මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවක් ජීවත්වන අතර එම ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධානතම රෝහල මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලයි. 1876 වර්ෂයේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කෙරුණු මෙම රෝහල 1990 වර්ෂයේ දී මූලික රෝහලක් ලෙසද 2005 වර්ෂයේදී දිස්ත්‍රික් මහ රෝහල ලෙසද ශ්‍රේණිගත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර, මොණරාගල ප්‍රාදේශිය සභවේ සභාපති ජානක කුරුප්පු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) එච්. එමි.අයි.සී හේරත්, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  ඩබ්ලිව්.ආර්.එම් මහේන්ද්‍ර සෙනෙවිරත්න, මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක හේවාමාන්න. රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා පතිරගේ, යන මහත්ම මහත්මීන් ඇතුළුව, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තියන් පිරිසක්ද, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරින්, ප්‍රදේශයේ මහජනතාවද එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn