බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඇතුලත් පුස්ථක වහන්සේ පන්සලේ වැඩ සිටින බවත්, ධර්මයේ හරය ජනතාව වෙත දේශනා කිරීම අපේ ගරුතර හාමුදුරුවන් විසින් මනා අධ්‍යනයකින් පසුව අමතර දැනුම ද එක්රැස් කර ගනිමින් මහජනතාව වෙත ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.
මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයේ දී රාජ්‍ය වෙසක් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
“රට තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේදී ආගමික ප්‍රබෝධයක් අත්‍යවශ්‍යයි”
“නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය මෙරට ආගමික ප්‍රබෝධයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති”
රට තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේදී ආගමික ප්‍රබෝධයක් අත්‍යවශ්‍ය බවත්, සම්බුදු සසුන සහ ධර්මය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස හදුනා ගනිමින්, ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගැනීම වෙසක් පුන් පොහෝ දින අපිට එළැඹිය හැකි හොඳම අදිටන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
බුදු දහම වර්තමානයේ ජීවත් වන අපිට හෝ සිවුරක් දරා වැඩ සිටින ස්වාමීන් වහන්සේට පමණක් හිමි නොවන අතර, සම්බුදු දහම සමස්ත ලෝකවාසීන්ගේ විමුක්තිය සහ හිත සුව පිණිස දේශනා කරන ලද්දක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මහා සංඝරත්නයට, සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති ඉක්මනින් සම්පාදනය කර දීමට රජය අපේක්ෂා කරන බවද පැවසීය.
“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ. ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කර ඇත.
කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරගය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය. එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින්ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.
රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක් වූහ.
2570 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් නිකුත් කෙරණු විශේෂ සමරු මුද්දරය සහ මාතර දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ත්‍රිත්වයක් මුල් කර ගනිමින් නිර්මාණය කෙරුණු වෙසක් සමරු මුද්දර ත්‍රිත්වයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණු අතර එහි පළමු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
දකුණු පළාතේ ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධස්ථාන කිහිපයක් වෙත පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.
රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දසානායක මහතා,
අද අපි සහභාගී වී සිටින්නේ ලංකාවේ පැවැත්වෙන ඓතිහාසික වූත් වැදගත් වූත් අවස්ථාවකටයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ ඉතාමත් ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය මේ වෙසක් පසළොස්වක පුන් පොහොය දිනයට යෙදී තිබෙනවා. උන්වහන්සේගේ තෙමඟුල දීර්ඝ කාලයක් පුරා අප විසින් සමරනු ලබනවා. ශත වර්ෂ ගණනාවක් එම ධර්මය නොනැසී රඳා පැවතීමේ රහස කුමක්ද? උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව එනම් අද සිට බැලුවොත් වසර 2334කට පෙර බුදු දහම ලංකාවට ආගමනය සිදු වුණා. වසර 2334ක චිරාත් කාලයක් එම බුදු දහම නොනැසී, එම හරය ආරක්ෂා කර ගනිමින් පැවතීමේ රහස වන්නේ උන්වහන්සේගේ දහම හේතුඵල වාදය මත පදනම් වී තිබීම සහ යථාර්ථවාදී දහමක් වීම නිසා කියා මම සිතනවා. උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම උන්වහන්සේ බුද්ධත්වයට පත්ව එළැඹි පළමු ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේදීම 60 නමකට දේශනා කළා.
එහිදී උන්වහන්සේ අනුදැන වදාළේ මෙම ධර්මය බහුජන හිතසුව පිණිස දේශනා කරන්න කියලා. එනම් මේ දහම රඳා පැවතීමේ ප්‍රධාන සාධකය දහමේ තිබෙන හේතුඵල වාදයයි. දෙවන සාධකය වන්නේ ධර්මධර, විනයධර අපේ හාමුදුරුවන් වහන්සේලායි. දීර්ඝ කාලයක් මේ දහම රඳා පැවතුණේ මුඛ පරම්පරාවෙන්. ධර්මය ග්‍රන්ථාරූඪ කරන තෙක් ඇතැම් විට ස්වාමීන් වහන්සේ නමකට මේ සියල්ල එකට මතක තබා ගැනීම සහ දුෂ්කර ක්‍රියාවක් වන්නට ඇති. ඒ නිසා එක් එක් නිකායන්ට අනුව බෙදා මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ධර්මධර, විනයධර මහා සංඝරත්නය විශාල කැපවීමක් සිදු කළා.
එහිදී අපි දන්නවා දීඝ නිකාය, දීනක භාණකවරුන් විසින්ද, මජ්‌ඣිම නිකාය, මජ්‌ඣිම භාණකවරුන් විසින්ද, සංයුත්ත නිකාය සංයුත්ත භාණකරුවන් විසින්ද මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන එනු ලැබුවා. මෙලෙස දහම සහ එහි හරය සහ පදනම නොනැසි ශත වර්ෂ ගණනාවක් අපේ මහා සංඝරත්නය මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන ආවා. අනතුරුව වළගම්බා රජ සමයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ලිඛිතව ආරක්ෂා කළා.
අද පන්සලේ බණ පොත් වහන්සේ වැඩ සිටිනවා. එහෙත් පන්සලේ වැඩ සිටින බණ පොත් වහන්සේගේ හරය අපේ බෞද්ධ ජනතාව වෙත ගෙන යන්නේ කවුද? මම දැක නැහැ බණ පොතක් පෙරළාගෙන පිටුවෙන් පිටුව ධර්මය දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේ නමක්. අපේ හාමුදුරුවන් වහන්සේ ධර්මය අධ්‍යයනය කර එම දැනුම එක් කරගෙන ජනතාවට දේශනා කරනවා.
1931 විහාර දේවාලගම් පනත 41 සහ 42 වගන්ති සංශෝධනය කරන්න කියා ඉල්ලීමක් කළා. ඒ වගේම නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා ඉල්ලා සිටියා. විහාර දේවාලගම් පනත 41 සහ 42 වගන්ති සංශෝධනය කර දෙන්න කියා අපේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද ලිඛිතවද මා වෙත ඉල්ලීමක් කර තිබුණා. අපේ අමාත්‍යවරයා ඒ පිළිබඳ සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඊට එකඟතාව පළ කළ. ඒ අනුව සංශෝධනයක් සකස් කළා. අප දන්නවා ඕනෑම සංශෝධනයක් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියට ලක් විය යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ඊට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර පසුගියදා අපේ මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී මහානායක ස්වාමීන් වහන්සේ සහ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා සහ නීතිපතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වීමට මම කටයුතු සංවිධානය කර දුන්නා. එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට එළැඹීමට හැකි වූ බව ගෞරවනීය ස්වාමින් වහන්සේලා මා වෙත දැනුම් දුන්නා. එම නිසා අපි ඉතා ඉක්මනින් ඔබවහන්සේලාට සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති සම්පාදනය කර දෙනවා.
මේ දහම වර්තමානයේ ජීවත්වන අපිට, එසේ නොමැතිව සිවුරක් දරාගෙන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට පමණක් හිමි නැහැ. මේ දහම අපි හැම කෙනාටම තමන්ගේ විමුක්තිය වෙනුවෙන් හිතසුව පිණිස වෙනුවෙන් දේශනා කළ දහමක්. එසේ නම් අපි හැම දෙනාටම මේ දහමේ හරය විනාශයට පත් නොවී ආරක්ෂා කර ගැනීමට වගකීමක් තිබෙනවා.
අපේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් පරිදි අද ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථා අපි දැක තිබෙනවා. ඒ සඳහා පාලකයන්ට කුමක්ද කළ හැක්කේ? උන්වහන්සේ මට ආරාධනා කළා මීට පෙර රජ දවස සිටි රජවරු වගේ මේ සඳහා ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි සූදානම්. හැබැයි, ඒ ක්‍රියාමාර්ග සඳහා අපේ ධර්මධර, විනයධර ගෞරවනීය මහා සංඝරත්නයේ සහාය අවශ්‍යයි. සමස්ත ලෝකවාසීන්ගේ විමුක්තිය උදෙසා දේශනා කරන ලද දහම ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම දෙනාම එක්ව වැඩ කරමු කියා මම ආරාධනා කරනවා. මේ වෙනුවෙන් ගන්නා පියවර දේශපාලන තීන්දු ලෙස හෝ ආණ්ඩුවේ තීන්දු ලෙස අර්ථකථනය කරනවාට මම කැමති නැහැ. අපි බෞද්ධයන් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ලෙස, මෙම ක්‍රියාමාර්ගවලට අර්ථකථන ලැබෙනවා නම් තමයි මම වඩාත් කැමතියි. ඒ නිසා එම ක්‍රියාමාර්ග අපේ ධර්මයත්, බෞද්ධ ජනතාවත්, අනාගතයත් වෙනුවෙන් ගන්නා ලද බෞද්ධමය තීන්දු බවට පත් විය යුතුයි කියා මම සිතනවා. ඒ සඳහා ඔබවහන්සේගේ සහාය අපේක්ෂා කරනවා.










