කාලගුණයේ අයහපත් තත්වය ක්‍රමයෙන් වෙනස් වෙයි… අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට…

කාලගුණයේ අයහපත් තත්වය ක්‍රමයෙන් වෙනස් වෙයි… අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට…

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින අයහපත් කාලගුණ තත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවත් තද වැසි තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව හෙට (23) දිනයේ කාලගුණ තත්වය ගැන අද (22) ප.ව. 2.00ට නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය.

කෙසේ නමුත් හෙට දිනයේත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවද පැවසේ.

ගිගිරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Facebook
Twitter
LinkedIn