60 දශකයේ දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් හඳුන්වා දුන් විමුක්ති දේවධර්මවාදයේ සුප්‍රකට චරිතයක් වූ කැමිලෝ තෝරෙස් පියතුමාගේ දේහය කොලොම්බියාවේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ හා ගවේෂණ සිදු කරන කණ්ඩායමකට හමු වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. 1965 දී පල්ලියේ ඒ දක්වා සිදු කරමින් සිටි තම පූජක මහණ පදවියෙන් ඉවත් වී කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාවේ (ELN) ගරිල්ලා සංවිධානයට කැමිලෝ තෝරෙස් දේවගැති තුමන් එක් විණි. ගරිල්ලා ප්‍රහාර රාශියකට සම්බන්ධ වූ කැමිලස් ටෝරෙස් පූජක තුමා ඉන් මාස කිහිපයකට පසු හමුදාව සමග සිදු වූ ගැටුම කදී මිය ගිය අතර ඔහුගේ සිරුර යළි හමු වුයේ නැත.
2025 පෙබරවාරි 16 වනදා ඔහුගේ දේහය විධිමත් ලෙස හඳුනාගෙන ඇති බව, 2016 දී FARC ගරිල්ලන් සමඟ ඇති කරගත් සාම ගිවිසුමෙන් පසුව පිහිටුවන ලද අතුරුදහන් වූවන් පිළිබඳ පර්යේෂණ ඒකකය සඳුදා නිවේදනය කළේය. UBPD ඇමරිකානු රසායනාගාරයක් ඇතුළු තවත් කොලොම්බියානු රාජ්‍ය ආයතන තුනක් විසින් කැමිලෝ තෝරේස් ගේ සිරුරු කොටස් උන් වහන්සේ ගේ ඥාතීන්ගේ DNA සමඟ සංසන්දනය කර දේහය හඳුනා ගෙන ඇත.
කොලොම්බියානු ගරිල්ලා ව්‍යාපාරයේ නිර්මාතෘ වරයෙකු සහ කතෝලික ධර්මය සහ විප්ලවීය අරගලය අතර සහසම්බන්ධය යන ගරිල්ලා න්‍යායය නිර්මාණය කිරීමේ පුරෝගාමී කාර්යයක් සිදු කල කැමිලෝ තෝරේස් පියතුමා, 1929 පෙබරවාරි 3 වන දින කොලොම්බියාවේ අගනුවර බොගෝටා හි උපත ලැබූවේ අතිශයින් ධනවත් පවුලකට දාව වේ. ප්‍රංශ ඩොමිනිකන් පූජකවරුන් දෙදෙනෙකු හමුවීමෙන් පසු පූජකත්වයට ඇතුළු වීමට තීරණය කළේ නිරාගමික පවුලේ විරෝධය මතය. කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි ප්‍රධාන සෙමනේරියේ අධ්‍යාපනය ලැබීමෙන් පසු, ඔහුගේ පවුලේ මූල්‍යමය සහයෝගයෙන් විදේශයන්හි දේවගැතියකු වීමේ පුහුණුව දිගටම කරගෙන යාමට හැකි විය. බෙල්ජියමේ ලියුවන්හිදී, ඔහු ශිෂ්‍යයෙකු ලෙස සුවපහසු ජීවිතයක් ගත කළ බව වාර්තා වේ.
කැමිලෝ තෝරේස් 1950 ගණන්වල යුරෝපයේ ජීවත් වූ කාලය තුල ඔහුගේ බුද්ධිමය හා දේශපාලන සංවර්ධනයේ තීරණාත්මක වෙනස් කාල පරිච්ඡේදයක් වූ බව විචාරකයින්ගේ මතයයි. සමාජ ගැටළුවලට වඩා ගැඹුරින් මුල් බැසගත් සහ “අසංවර්ධනය” යන තේමාවට වඩාත් අවධානයෙන් සිටි පල්ලියේ නව පැතිකඩක් ඔහු සොයා ගත්තේ බෙල්ජියමේ ලියුවන්හිදීය. ඔහු කම්කරු-පූජකයෙකු මුණගැසුණේද බෙල්ජියමේදී වන අතර, පැරීසියේ ගත කල කාලය තුළ ප්‍රංශ විප්ලවය ආශ්‍රිත ග්‍රන්ථ අධ්‍යයනය, ඇල්ජීරියාවේ හා වියට්නාමයේ විමුක්ති අරගලය මෙහෙය වූ විමුක්ති භටයින් සමග සාකච්චා කිරීමට, විවාද සිදු කිරීමට නිතර සම්බන්ධ විණි. මෙමගින් අධ්‍යාත්මික ජීවිතයකට වඩා ඔහුගේ සමාජ ක්‍රියාකාරිත්වයට ඇති ඇල්ම වැඩි විය.
1958 දී, කොලොම්බියාවට යන කැමිලෝ තෝරෙස් “බොගෝටා නගරයේ සමාජ, ආර්ථික ගැටළු සඳහා සංඛ්‍යානමය ප්‍රවේශය” යන මාතෘකාව යටතේ නිබන්ධනයක් ඉදිරිපත් කිරීමෙන් පසු සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තේය. 1958 දී ඔහු කොලොම්බියාවේ බොගෝටා අගනුවර හි පිහිටි ජාතික විශ්වවිද්‍යාලයේ දේවගැතිවරයා බවට ද පත්විය. 1960 දී, කොලොම්බියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ලතින් ඇමරිකාවේ පළමු සමාජ විද්‍යා පීඨය ආරම්භ කරමින් අධ්‍යයන සභාපති ධුරය ද දැරීය. ඔහු පළමු ප්‍රජා සංවර්ධනය සඳහා නම් වූ විශ්වවිද්‍යාල ව්‍යාපාරයේ (MUNIPROC) සංවිධායකයින් අතර ද සිටියේය. මෙම තනතුරෙන් සහ ඔහු සමඅනුග්‍රහය ඇතිව ආරම්භ කළ සමාජ විද්‍යා පීඨයෙන්, 60 දශකය තුළ ෆිදෙල් කැස්ත්‍රෝ සහ ඔහුගේ ජූලි 26 ව්‍යාපාරය හවානාහි බලය අත්පත් කර ගැනීම සමීපව අධ්‍යයනය කරන තම රටේ සිසුන් සමඟ සම්බන්ධ විය.
සමාජ අසමානතාවයන් අවසන් කිරීම අරමුණු කරගත් රටේ දේශපාලන කටයුතුවලට ඔහු වැඩි වැඩියෙන් සම්බන්ධ වීම නිසා, හා විශ්වවිද්‍යාලවලින් නෙරපා හරින වාමාංශික ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුව විශ්වවිද්‍යාල තනතුරෙන් නෙරපා හැරිණි. ඔහු පසුව රාජ්‍ය පරිපාලන උසස් පාසලක තනතුරක් ලබා ගත්තේය. 1963 දී, ඔහු අගනුවර බොගෝටා හි පැවති පළමු ජාතික සමාජ විද්‍යා සම්මේලනයේ මුලසුන දැරූ අතර, එහිදී ඔහු “ග්‍රාමීය කොලොම්බියානු කලාපවල ප්‍රචණ්ඩත්වය සහ සමාජ සංස්කෘතික වෙනස” යන මාතෘකාව යටතේ අධ්‍යයනයන් හා දේශණ ඉදිරිපත් කළේය. පසුව ඔහු ප්‍රධානත්වය දැරූ පල්ලියේ දේවගැති තනතුරෙන් ද ඉවත් කළේය. කෙසේ වෙතත්, ඔහු ගිහි ජීවිතය ඉල්ලා නොසිටි අතර, තවදුරටත් පූජක කාර්යයන් ඉටු නොකර ඔහුගේ ජීවිතයේ අවසානය දක්වා පූජකයෙකු ලෙස පමණක් පෙනී සිටියේය.
1964 දී කොලොම්බියාවේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූයේ ආර්ථික අර්බුදයකින් උග්‍ර වූ වටා පිටාවක් තුලය. එහි දී ප්‍රගතිශීලී කවයන්ගෙන් විසිරී සිටි විවිධ ක්‍රියාකාරීන් එක්රැස් කරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට කැමිලෝ තෝරෙස් ක්‍රියාකාරිව උත්සහ කළේය. ප්‍රකාශිත ඉලක්කය වූයේ “නීතිමය ක්‍රම හරහා පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පොදු විප්ලවවාදී ක්‍රියාමාර්ගයක්” තීරණය කිරීම හා ඛණ්ඩනය වූ ප්‍රගතිශීලී විපක්ෂය පොදු ව්‍යාපෘතියකට එක්සත් කිරීමයි.
1965 සිට ඒ සඳහා අධ්‍යයන කමිටු පිහිටුවන ලද අතර, කැමිලෝ තෝරෙස් හට දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේ කාර්යය පැවරී තිබුණි: “ජනප්‍රිය එක්සත් ව්‍යාපාරයක් සඳහා වේදිකාවක්,” Fente unido” ව්‍යාපාරයට තමන්ගේම පුවත්පතක් ද ප්‍රකාශයට පත් කරමින් ලිපි සැපයුහ. ප්‍රගතිශීලි අරමුණක් සඳහා වූ කතිකාවක් සඳහා කදිම ආරම්භයක් නිර්මාණය වී තිබියදීත්, මෙම මුලපිරීම අපේක්ෂිත සාර්ථකත්වය අත්කර ගත්තේ නැත.
ඔහු විසින් ලියු “ලේඛන සහ වචන” නම් ග්‍රන්ථයට අනුව, මෙම අසාර්ථකත්වයට අවම වශයෙන් හේතු කාරණා තුනක් තිබුණි: එනම් “විප්ලවීය සංවිධානයක් නොමැති වීම, අභ්‍යන්තර එදිරිවාදිකම් සහ ස්ථාපිත පිළිවෙල ආරක්ෂා කරන්නන්ගේ ප්‍රතිචාර අවම වීම”විය. 1966 මාර්තු මාසයේදී පැවැත්වුනු ජනාධිපතිවරණයේදී කැමිලෝ තෝරේස් “ක්‍රියාකාරී, සටන්කාමී සහ විප්ලවවාදී” පියවරක් වෙතට යමින් ඡන්දය දීමෙන් වැළකී සිටීම වෙනුවෙන් පෙනී සිටීයේය. ඔහු කොලොම්බියාවේ ප්‍රධාන නගරවල දේශන ගණනාවක් පවත්වමින් දූෂිත මැතිවරණ පවත්වමින් බලය පවත්වා ගන්නා පාලනයට එරෙහිව අවිහිංසාවාදී විප්ලවයක් සඳහා ජනතාවට ආයාචනය කළේය.
කැමිලෝ තොරේස් නිරන්තරයෙන් අසාධාරණයට එරෙහිව සටන් කළේය. එය දුප්පතුන්ට එරෙහිව හෝ සිසුන්ට එරෙහිව වේවා අසාධාරණයක් සිදු වූ විට එයට එරෙහිව උන් වහන්සේ එහි පෙරමුණ ගත් සේක. කොලොම්බියාවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ කාර්යය පැවරී තිබූ INCORA ආයතනයේ කොමිෂන් සභා ඉදිරියේ පෙනී සිටිමින් රට තුළ අදටත් විසඳි නැති සාධාරණ ඉඩම් බෙදා හැරීමක් සඳහා වන ඕනෑම ක්‍රියාවලියකට බාධා කරන දේශපාලන නායකයින්ට එරෙහිව සටන් කළහ. ඔහුගේ ලේඛන සහ ප්‍රසිද්ධ ප්‍රකාශවලදී, කොලොම්බියානු දේශපාලන ක්‍රමයේ දූෂණය සහ නිලධාරිවාදයේ මන්දගාමී බව ද නොපැකිලව හෙළා දුටුවේය. එය අදටත් කොලොම්බියාවේ වෙනස් වී නැත.
කැමිලෝ තොරේස්ගේ චරිත ලක්ෂණ වූයේ පීඩිත ජනතාව කෙරෙහි ඔහු තුල පැවැති ගැඹුරු සංවේදනය, සමාජ පරිවර්තනය සඳහා ඔහුගේ ආශාව සහ ඔහුගේ කැරලිකාර ආත්මයයි. උන් වහන්සේ ඒවා නව ආකාරවලින් නව්‍යකරණය කළේය: ආගමේ අත්දැකීම තුළ, ඔහු දෙවන වතිකානු කවුන්සිලය ඉදිරියේ දිව්‍ය පූජාවේ චාරිත්‍ර සරල කළේය; ඔහු කාන්තා සහෘදයන් සමඟ සමීප සබඳතා පවත්වා ගත් අතර එය එකල කොලොම්බියාවේ සිතාගත නොහැකි දෙයක් විය. අයිතීන් දිනා ගැනීම සඳහා ග්‍රාමීය ගොවි ජනතාවට බිම් මට්ටමේ සංවිධාන ගොඩනැගීම සඳහා සැලකිය යුතු දිරියක් ලබා දුන්නේය.
කැමිලෝ තෝරේස් සාමාන්‍ය පුරවැසියන් කතෝලික ආගමට හැරවීමේ නිරත නොවීය. ඔහු සැබවින්ම සර්වාගමික විය:
“ක්‍රිස්තුස් වහන්සේ අප සෑම ආදරණීයයෙකු සමඟම සිටී. කතෝලික, රෙපරමාදු හෝ කොමියුනිස්ට් හෝ වෙනත් අය යන්න අදාළ නැත; නමුත් සියල්ලටම වඩා, ඔහු දුප්පතුන් සමඟ සිටී ඔහු නිතර තම දේශණ මගින් ප්‍රකාශ කළේය. අපි දුප්පතුන් වෙනුවෙන් කරන දේ, අපි ජේසුස් වහන්සේ සමඟ ද කරන්නෙමු.” යයි පවසා සිටියේය.
රටේ වම එක්සත් කිරීම සඳහා කැපවූ කැමිලෝ තෝරෙස් පක්ෂ දේශපාලනයට ඍජුව ආකර්ෂණය නොවීය. ඔහු කුමන්ත්‍රණකාරී මිනිසෙක් නොවීය, ඔහු කිසිදු වියදමක් දරා බලය සෙව්වේ නැත. ඔහු මුදල් පසුපස හඹා ගියේ ද නැත. ඔහු ධනවත් පවුලකට අයත් පුද්ගලයෙකු විය. ඔහු දූෂණය හෙළා දුටුවේය. එසේම වාමාංශික යැයි කියා ගනිමින් තනි පුද්ගල සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් හාන්සි පුටු විප්ලවවාදය කතා කරමින් වම බෙදීමට උත්සහ කල කුහක වාම පොතේ ගුරු වාදීන්ට නිර්ධය ලෙස පහර දුන්නේය.
ඔහුගේ ප්‍රථම සතුරන් වූයේ ජනතාව කොල්ල කෑ ධනවත් දූෂිත සුළු ධනවතුන් ආරක්ෂා කරමින් පල්ලියේ ගතානුගතික ධූරාවලීන් හා බලවතුන්ගේ සහය මත දුප්පතුන් රවටන දුෂිත ආගමික පුජකයන්ය. බහුතරයේ ඉරණම තීරණය කරමින් හා බහුතරයේ අභිලාෂයන්ට පටහැනිව, ප්‍රතිගාමී ව්‍යාපෘතිවල සියලු පීඩක ආරක්ෂකයින්ට එරෙහිව ඔහු තම පන්හිද මෙහය වූයේය.
1965 දී පල්ලියෙන් ඉවත් වී සිටි කැමිලෝ තෝරෙස් කියුබානු ආදර්ශය මත යමින් ලතින් ඇමරිකාව පුරා පැතිර ගිය විප්ලවවාදී සහ අධිරාජ්‍ය විරෝධී හැඟීම්වලින් නිසැකවම බලපෑමට ලක් විය. තමන් පෙනී සිටි සාමකාමී අධ්‍යාත්මික අරගලයෙන් සමාජය වෙනස් කල නොහැකි බව අවබෝධ කර ගත් උන් වහන්සේ ELN ගරිල්ලා ව්‍යාපාරයට සම්බන්ධ වීමට තීරණය කළේය.
“සාමකාමී ක්‍රියා මාර්ග තවදුරටත් අවසන් වී ඇත. ජනතාවට අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, ආහාර, ඇඳුම් පැළඳුම් සහ, සියල්ලටම වඩා, ගෞරවය ලබා ගැනීමට නම්, සන්නද්ධ අරගලය හැර වෙනත් ක්‍රියා මාර්ග නොමැත.” යයි උන්වහන්සේ ලියා තැබුහ.
ආරම්හයේ දී නාගරික ගරිල්ලෙකු ලෙසත් සිට පසුව කඳුකරයේ රහසිගත ELN ගරිල්ලා මුලස්ථානයට උන් වහන්සේ එක් විය. ELN හි ප්‍රධාන කණ්ඩායම කොලොම්බියාවේ සැන්ටැන්ඩර් හි දුරස්ථ කඳුකර ප්‍රදේශයක ස්ථාපිත කර වසරකට ආසන්න කාලයක් ඒ වන විට ගත වී තිබුණි. මෙම ගරිල්ලා කණ්ඩායමට, කැමිලෝ තෝරේස් වැනි ප්‍රසිද්ධ චරිතයක් එක්ව සිටීම සන්නද්ධ අරගලයට දැවැන්ත සම්පතක් වූවා මෙන්ම ව්‍යාපාරය වෙතට ජනතාව ආකර්ෂණය කර ගැනීම සඳහා ද උත්තේජකයක් සැපයුවේය.
ELN 1964 ජූලි මාසයේදී ආරම්භ කරන ලද්දේ වෘත්තීය සමිතිවාදීන්, ගොවීන් සහ සිසුන් විසිනි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියුබාවේ පුහුණුව ලැබූ අතර චේ හා කැස්ත්‍රෝ කොලොම්බියානු විප්ලවයට ඍජුවම ආධාර ලබා දුන්හ.
“ඒ යුගයේ පැරණි රයිෆල් වලින් සන්නද්ධව, ලඳු කැලෑ වලින් ගහන වූ ඈත කඳුකර පරිසරයක අසීරු කොන්දේසි යටතේ පාවහන් නොමැතිව සිටි නිර්භීත මිනිසුන් අතලොස්සක් අතරට ඔවුන් සමඟ ආදරයෙන් එක් වූ කැමිලෝ දේවගැති තැන අනුන්ගේ යහපත වෙනුවෙන් තම ජීවිතය කැපකළ අතිශයින් ශ්‍රේෂ්ට වීර චරිතයක් ලෙසයි මම එතුමා ගැන දකින්නේ ” යයි උන් වහන්සේ ගේ චරිතාපදානය රචනා කල ජෝ බ්‍රොඩ්රික් BBC සමග සිදුකල සම්මුඛ සාකච්ඡාව කදී එසේ පවසා සිටියේය.
1966 පෙබරවාරි 15 වන දින, කැමිලෝ තෝරෙස් ඇතුළු ELN ගරිල්ලා කණ්ඩායමට හමුදාව විසින් සැඟවී සිට සිදු කල ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටියදී උන් වහන්සේ මිය ගියහ. කැමිලෝ තෝරේස් හට උණ්ඩ දෙකක් වැදුණි; දෙවැන්න මාරාන්තික විය. උන්වහන්සේ මිය යන විට වයස අවුරුදු 37ක් වූ අතර ඔහුගේ සිරුර විප්ලවීය සංකේතයක් වීම වැළැක්වීම සඳහා කොලොම්බියානු හමුදාව විසින් සඟවන ලදී. ඔහුගේ භූමදාන කළ ස්ථානය කිසි වෙකු නොදැන සිටි අතර, ඔහුගේ සිරුර සොයා ගැනීමට කළ සෙවීම් ද අසාර්ථක විණි.
ඔහුගේ විප්ලවීය කැපවීම සහ ඛේදජනක අවසානය ඔහුව “විමුක්ති දේවධර්මවාදයේ පූර්වගාමියෙකු” බවට පත් කළ අතර සපාතා, ජොසේ මාර්ටි, චේ, බොලිවාර් වැනි ලතින් ඇමරිකාවේ නිදහස වෙනුවෙන් දිවි පිදූ එයතිහාසික විරුවෙකු බවට ඔහු පත් වුයේය. ඔහුගේ මතකය 1980 ගණන්වල චිත්‍රපට සහ ජනප්‍රිය ගීත හරහා ජීවමාන විය. ඔහු විප්ලවීය ජිවිතයකට ඇතුළු නොවුනා නම්, කැමිලෝ තෝරෙස් බොහෝ විට කොලොම්බියාවේ ඉහළ පෙළේ පල්ලියේ නිලධාරියෙකු හෝ සමාජ විද්‍යාව පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙකු වීමට ඉඩ තිබුණි.
නමුත් කොලොම්බියාව ඇතුළු දකුණු ඇමරිකාව තුල සමාජ අසාධරණත්වය හා අසමානාත්මතාවය ඔහුගේ සුඛෝපභෝගී ජිවිතයකට තිබු දිසාව වෙනස් කරනු ලැබිණි. සමාජයේ නිර්ධනයන්ගේ විමුක්තිය වෙනුවෙන් තම පවුලේද විරුද්ධතාවය මත ක්‍රිස්තියානි පල්ලියේ දේවගැති වරයෙකු වී පසුව විමුක්ති දේවධර්මය වැළඳ ගැනීමෙන් පසු සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ යහපත් හා ඉතා ධනවත් පවුලකින් පැමිණියෙකු ලෙස ඔහු ඉතිහාසයට එක් විණි. ඔහුගේ සිරුර සතුරන් විසින් සැඟවනු ලැබුවද කැමිලෝ තෝරෙස් පියතුමාගේ භාවිතාව දකුණු ඇමරිකාවේ හා ජාත්‍යන්තරයේ ජනතා හදවත් තුල එතැන් සිට ජීවමාන විය.
“කැමිලෝ තෝරේස් ගේ දේහය ඔහුගේ මරණයෙන් වසර 60 කට පසු විධිමත් ලෙස හඳුනාගෙන ඇත”.
2026 පෙබරවාරි 16 වන සඳුදා කොලොම්බියාවේදී FARC ගරිල්ලන් සමඟ 2016 සාම ගිවිසුමෙන් පසුව පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ පර්යේෂණ ඒකකය නිවේදනයක් නිකුත් කරමින් එසේ කියා සිටින ලදී. වසර 60 කට පසුව ඔහුගේ සිරුර සොයා ගැනීමෙන් පසුව කොලොම්බියාව තුල පමණක් නොව ලොව පුරාම ජාතික වීරයෙකු ගේ නැවත පුනරාගමනයක් ලෙස හැඳින් විය හැකි බව කොලොම්බියානු මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර සිටි. කැමිලෝ ටොරස්ගේ දේහය බුකාරමන්ගා (නැගෙනහිර කොලොම්බියාව) හි සුසාන භූමියක තිබී සොයා ගන්නා ලද අතර, ඔහුගේ මරණයෙන් වසර තුනකට පසු එය ගොඩ ගැනීමෙන් පසු රහසිගතව එහි තැන්පත් කර ඇති බව වාර්තා වේ.
උන් වහන්සේ ගේ සිරුර හමු වූ පසු කැමිලෝ තෝරෙස් ජීවතුන් අතර සිටියදී ඔහුගේ සම-අනුග්‍රහය මත ආරම්භ කරන ලද කොලොම්බියාවේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික විශ්ව විද්‍යාලයේ ප්‍රධාන උත්සවයක් සැලසුම් කර තිබුණද, 2016 දී FARC සමඟ ඇති කරගත් සාම ගිවිසුමේ කොටසක් ලෙස නිර්මාණය කරන ලද අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පර්යේෂණ ඒකකය (UBPD) විසින් ඉරිදා දින දේහය රහසිගතව කැමිලෝ තෝරෙස් අයත් වූ කතෝලික සභාව වෙත භාර දෙන ලදී.
වසර 60ක කාලයක සිට දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන කොලොම්බියාව යුද්ධ රාශියක යෙදී සිටින රටක් වන අතර, අඩ සියවසකට වැඩි කාලයක් වාමාංශික ගරිල්ලන්, අන්ත දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ ග්‍රහණයට ලක් වූ රටක් වේ. මේ වන විට කොලොම්බියාව පාලනය කරන වර්තමාන ජනාධිපති Gustavo Petro ද M-26 ගරිල්ලා ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම කීප වතාවක්ම සිර භාරයට ද ලක් වූ අයෙකු වේ.
මේ වන විට ලබන මැයි මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට සුදානම් වන කොලොම්බියාව තුල කැමිලෝ තෝරේස් ගේ සිරුරේ කොටස් හමු වීම එරට දක්ෂිණාංශික පක්ෂ හා පැරා මිලිටරි කණ්ඩායම් වල කෝපයට හේතු වී ඇති ඇත. 20 වන සියවසේ මැද භාගයේදී මතු වූ කොලොම්බියාවේ සන්නද්ධ අරගලයේ ආරම්භක නීත්‍යානුකූලභාවය හා වර්තමානය තුල තවමත් ක්‍රියාත්මක වන ELN ගරිල්ලා සංවිධානය විසින් වර්තමානය දක්වා සිදුකරන අරගලයේ නිත්‍යනුකුලභාවය හා යුද්ධය පිළිබඳ විවාදය ද නැවත සක්‍රිය වී තිබේ. 1964 දී කොලොම්බියාවේ ඉඩම් අසමාන ලෙස 1%ක ඉඩම් හිමියන් විසින් රඳවා ගැනීමට එරෙහිව සටන් කිරීමට සිසුන් අතර උපත ලැබූ ELN ගරිල්ලා ව්‍යාපාරය යනු කොලොම්බියාවේ බලවත්ම සන්නද්ධ කණ්ඩායම් වලින් එකකි.
එසේම කොලොම්බියාව යනු වඩාත් සංකේන්ද්‍රිත ඉඩම් හිමිකාරිත්වයක් තුල විශාල අසමානාත්මයන් නිර්මාණය කර ඇති ලතින් ඇමරිකානු රටවලින් එකකි. එරට ඉඩම් හිමියන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් කෘෂිකාර්මික ඉඩම්වලින් 80% කට වඩා හිමිකරගෙන සිටින අතර, මිලියන ගණනක් කුඩා ගොවීන් හෙක්ටයාර 5 කට වඩා අඩු ප්‍රමාණයක් හෝ නීත්‍යානුකූල හිමිකමක් නොමැත.
මෙම අයුක්ති සහගත තත්වයට එරෙහිව කොලොම්බියාව විප්ලවවාදී සන්නද්ධ හමුදා ලෙස හැඳින්වෙන(FARC), ELN වැනි ගරිල්ලා සංවිධාන බිහිවිණි. යුද්ධය හේතුවන් 1980 ගණන්වල සිට මිලියන 8 සිට 9 දක්වා ජනතාවක් අවතැන් වී ඇත.ගොවි ජනතාවට අයත්ව තිබු හෙක්ටයාර මිලියන 6 සිට 8 දක්වා පමණ අතහැර දමා හෝ නීති විරෝධී ලෙස මහා ඉඩම් හිමියන් හා ඔවුන්ගේ රැකවරණය ලබන පැරා මිලිටරි කණ්ඩායම් විසින් අල්ලාගෙන ඇත. 2016 දී බොගෝටා හි අත්සන් කරන ලද සාම ගිවිසුම මගින් ඉඩම් නොමැති ගොවීන්ට හෙක්ටයාර මිලියන 3 ක් බෙදා හැරීම, අතිරේක හෙක්ටයාර මිලියන 7 ක නීත්‍යානුකූල භාවය විධිමත් කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් (මාර්ග, පාසල්, සෞඛ්‍ය සේවා, කෘෂිකාර්මික ණය) සඳහා දැවැන්ත ආයෝජන පොරොන්දු වුවද ඒවා තවමත් සම්පුර්ණ ලෙස ඉටුවී නොමැත.
2022 දී ගුස්ටාවෝ පෙට්‍රෝ බලයට පත් වූ දා සිට, ඔහුගේ ධුර කාලය තුළ හෙක්ටයාර මිලියන කිහිපයක් බෙදා හැරීමේ ඉලක්කය ඇතිව ඉඩම් මිලදී ගැනීම් සහ නැවත බෙදා හැරීම වේගවත් කිරීමට රජය සමත් විණි. නමුත් එය ඉතාමත් සෙමින් සිදුවීම නිසා ELN ගරිල්ලා ව්‍යාපාරය ආයුධ බිම දැමීම ප්‍රතික්‍ෂේප කරති. කොකේන් ජාවාරමට ඇති සම්බන්ධකම් යයි පවසමින් කැමිලෝ තෝරේස් ගේ ELN ගරිල්ලා සංවිධානය සමග සියළු සාකච්චා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම මත කොලොම්බියානු වාමාංශික රජය පසුගිය දා නතර කරන ලදී.
කැමිලෝ තෝරෙස් යනු අදටත් කොලොම්බියාව තුල පවතින ගැඹුරු අසමානතාවයන් විසඳීම සඳහා රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගත් ධනවත් සමාජ නායකයෙකු ගේ භාවිතාව තව දුරටත් නියෝජනය කරයි. ඔහු නිල වශයෙන් ගැටුම් නිසා අතුරු දහන් වූ මරණයට පත් 130,000 කට වඩා ජීවිත වල සංකේතයක් බවට පසුගිය වසර 60 තුල පත්ව ඇත. නමුත් ඔහුගේ සිරුර යලි හමු වීම තුලින් මරණයට පත් කල කැමිලෝ තෝරේස් පියතුමාට වඩා මරා දැමු තෝරේස් කොලොම්බියානු සමාජය තුල දැවැන්ත කම්පනයක් ඇති කර ඇතැයි යයි දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ. එයට ජනතාව දක්වන ප්‍රතිචාරය මැයි මාසයේ පැවැත්වෙන මැතිවරණය මගින් ලබා දෙනු ඇතැයි ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.












