අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් නින්දා අපහාස සිදු කළ සංවිධානාත්මක පිරිසට එරෙහිව ප්‍රබල හඬක් ගොඩ නැගෙමින් පවතී.
ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තිකයන් සහ සිවිල් පුරවැසියන් ඒ අතර පෙරමුණ ගෙන සිටී. විශේෂයෙන් ම සිව් නිකායික මහානායක හිමිවරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ වත්මන් රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කර තිබේ.
මේ අතර, අග්‍රාමාත්‍යතුමියට එරෙහිව අතිශය පිළිකුල් සහගත ප්‍රචාර ගෙන ගිය දේශපාලන පක්ෂ සහ එම පක්ෂවලට සම්බන්ධ සංවිධාන සහ පුද්ගලයින් පිළිබඳව ද විශ්ලේෂකයන්ගේ අවධානය යොමු කර ඇත. 1960 ජූලි මැතිවරණයට සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය අතිශය පිළිකුල් සහගත ලෙස ප්‍රචාර දියත් කළ ආකාරය පිළිබඳව පෙන්වා දී තිබේ. ඒ ආකාරයෙන් ම 1994 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ චන්ද්‍රිකා කුමාරතුංගට එරෙහිව ද ගාමිණි දිසානායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය පිළිකුල් ප්‍රචාර සහ අන්ත ජාතිවාදය ඇවිස්සීම සඳහා ක්‍රියා කළ ආකාරය ද පෙන්වා දෙති. 1994 ජනාධිපතිවරණය සඳහා අලවා තිබූ ප්‍රචාරක පෝස්ටර්වල චන්ද්‍රිකා කුමාරතුංගගේ නළලේ පොට්ටු තබමින් අන්ත ජාතිවාදී හැඟීම් ඇවිස්සූ බව ද යළි සිහිපත් කර දී ඇත.
මේ අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව දියත් කර තිබෙන පිළිකුල් සහගත ප්‍රචාර එදා එක්සත් ජාතික පක්ෂයේ නරුම දේශපාලනයේ ආභාෂය ලබා මේ වනවිට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සුන්බුන් විපක්ෂයේ සියලුම පක්ෂ එක පෙළට අග්‍රාමාත්‍යවරියට අපහාස කරන ආකාරය දැක ගත හැකිය.
කාන්තාවක දේශපාලන නායකත්වයට පැමිණීමට එරෙහිව 1960 දී එක්සත් ජාතික පක්ෂය පමණක් පාදඩ ප්‍රචාර ගෙන ගිය අතර, අද සුන්බුන් විපක්ෂයේ සියළුම පක්ෂ එම පිළිකුල් සහගත තත්වයේ ප්‍රචාරවලට එක් වී සිටින බව පැහැදිලි වී තිබේ.










