අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් වැටලීම මට්ටක්කුලිය ලංගම ඩිපෝවෙන් ඇරඹේ….

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් වැටලීම මට්ටක්කුලිය ලංගම ඩිපෝවෙන් ඇරඹේ….

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ සමාරම්භය අද (08) පෙරවරුවේ මට්ටක්කුලිය ලංගම ඩිපෝවේදී සිදුවිය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ මැදිහත්වීම මත ක්‍රියාත්මකවූ මෙම වැඩසටහන, එම ආයතනයේ ජංගම වෛද්‍ය පර්යේෂණ රථයක් උපයෝගී කරගනිමින් සිදුකරන ලදී. මට්ටක්කුලිය ලංගම ඩිපෝවේ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ මුත්‍රා සාම්පල ලබාගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් හඳුනා ගැනීම සිදුකළ අතර විනාඩි 10 වැනි කෙටි කාලයක් තුළදී අදාළ පරීක්ෂණයේ ප්‍රථිපල ලබාදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී, කේ.එස්.එම් සමරසේකර අදහස් දක්වමින් කියා සිටියේ,

“මෙම වැඩසහන ක්‍රියාත්මක කිරීමේ මූලිකම අරමුණ වන්නේ පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමයි. එමගින් දෛනිකව සිදුවන රිය අනතුරු අවම කිරීමට හැකිවීම ඉතාමත් වැදගත්. අද දිනයේ මට්ටක්කුලිය ඩිපෝවෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මගින් රියදුරන්ගේ මුත්‍රා සාම්පල ලබාගෙන, ඔවුන් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කරනවා.

අද දිනයේදී මත්ද්‍රව්‍ය 04ක් පරීක්ෂා කිරීමට හැකි පරීක්ෂණ කට්ටල අපි රැගෙනවිත් තිබෙනවා. එමගින් ගංජා, අයිස්, බාබුල් සහ හෙරෝයින් යන මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කළහැකි වෙනවා. ඉදිරියේදී මෙම ක්‍රියාවලිය දීපව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොතතු වනවා” යැයි පැවසීය.

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) සේනාධීර අදහස් දක්වමින්, මෙම පරීක්ෂාව ලංගමයෙන් ආරම්භ කිරීම ඉතාමත් වැදගත් බවත්, මෙය ආදර්ශයක් බවට පත් කරගනිමින්, මෙම සැලැස්ම ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

එසේම මත්ද්‍රව්‍යවලින් තොර විනීත රියදුරන් බිහි කිරීම සඳහා ලංගමයෙන් මේ අකාරයෙන් ලබාදෙන සහාය අගය කරන බවත්, මත්පැන්, මත් ද්‍රව්‍යවලින් තොර ප්‍රවාහන සේවයක් බිහිකිරීම මෙහි මූලික අරමුණ පෙරදැරිව ආරම්භ වූ මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය හැටියට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, මෙවැනි කර්තව්‍යයක් තුළින්, මතින් තොර රියදුරන් බිහිකිරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රමුඛ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට විශේෂ ස්තුතිය පුදකර සිටින බවත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු, පර්යේෂණ සහ සංවර්ධන) ඉන්දික චන්දිමාල් ඇතුළු ශ්‍රීලංගම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්