“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එය පහත පරිදි වේ.
මාධ්‍ය නිවේදනයයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය කරන අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කාර්යමණ්ඩලය පිළිබඳවත්, එහි මූල්‍ය භාවිතය පිළිබඳවත්, රජයේ වාහන භාවිතය පිළිබඳවත්, ද්වේෂ සහගතව විකෘති කරන ලද සාවද්‍ය තොරතුරු ඇතැම් පුද්ගලයින් සහ ඇතැම්
විද්‍යුත් හා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරමින් සිටින බව නිරික්ෂණය වේ. clean sri lanka ලේකම් කාර්යාලය වශයෙන් එම සාවද්‍ය තොරතුරු පිළිබඳ සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම අපගේ වගකීමක් වන බැවින්, මෙම නිවේදනය ඉදිරිපත් කරමු.
කාර්යමණ්ඩලය, වැටුප් සහ වාහන භාවිතය සම්බන්ධ තොරතුරු
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුයුක්තව මේ වන විට රාජකාරී කරනු ලබන මුළු නිලධාරීන් සංඛ්‍යාව 46කි. ඊට ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ඇතුළත්ව ස්ථීර රාජ්‍ය සේවකයන් 43ක් ද, තාවකාලික පදනම මත බඳවාගත් විශේෂඥ දැණුමින් යුතු පුද්ගලයන් 03ක් ද ඇතුළත් වේ. ඔවුන් වෙත ගෙවනු ලබන්නේ දැනට රාජ්‍ය සේවය තුළ අනුමත වැටුප් හා දීමනා පමණි. මීට අමතරව කිසිඳු වැටුප් හෝ දීමනා නොමැතිව විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින්, විශේෂඥ දැණූමැති පුද්ගලයින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ විවිධ ව්‍යාපෘති, ක්‍රියාකාරකම් සඳහා ස්වේච්ඡාවෙන් සහයෝගය ලබා දෙන අතර ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකාය ද කිසිඳු වැටුපක් හෝ දීමනාවක් නොමැතිව ක්‍රියාත්මක වන බව සඳහන් කළ යුතුය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයට අනුයුක්තව රජයේ චක්‍රලේඛ අනුව නිල වාහන හිමි නිලධාරීන් 10ක් සිටින අතර කාර්යාල කටයුතු සඳහා අනුයුක්ත කර ඇත්තේ එක් වාහනයක් (වෑන් රථයක්) පමණි. ඒ අනුව කිසිඳු අයුරකින් රජයේ වාහන අවභාවිතයක් සිදු නොවන බව අප සහතික කරමු.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාජ මෙහෙවර හා අරමුණු
“ක්ලීන් ශ්‍රී ලංකා” යනු, විවිධ ක්‍රියාකාරකම් හා බැඳෙමින්, රටේ සමස්ත ජනතාව තුළ ධනාත්මක ආකල්පමය වර්ධනයක් ඇති කරමින් සිදු කරන සමාජ පරිවර්තනයක් හරහා සමාජයෙහි යහපැවැත්මත් වර්තමාන හා අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීමේ වටිනාකමත් වටහාගත්, ඒ වෙනුවෙන් කැප වන සහ පරිසරයට ආදරය කරන, ඉහළ සුපිලිපන්න භාවයකින් සහ ආචාරධර්මීය අගයන්ගෙන් පූර්ණ, සහකම්පනයකින් යුතු පරපුරක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධන බලකාය සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් කැපවී එම කාර්යයන් ඉලක්ක කරගත් ව්‍යාපෘති සහ වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව මේ රවේ මහජනතාව වෙත වගකීමෙන් යුතුව දැනුම් දෙමු.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදු කරනු ලබන ව්‍යාපෘති හා ක්‍රියාකාරකම්
වැඩසටහන තුළ රාජ්‍ය මූල්‍ය යොදාගෙන රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක කරවනු ලබන ව්‍යාපෘති සහ පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ මහජන සහයෝගය මත ක්‍රියාත්මක කරවනු ලබන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වේ. 2025 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය රුපියල් මිලියන 6500ක් වෙන් කරනු ලැබ ඇති අතර සමාජීය, ආචාරධර්මීය හා පාරිසරික යන කුළුණු තුන ඔස්සේ ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කරවා ඇත. ඉන් ඇතැම් ව්‍යාපෘති මේ වන විට පූර්ණ වශයෙන් නිම කර ප්‍රතිඵල ලබා දෙන අතර ඇතැම් ඒවා තවදුරටත් 2026 වර්ෂය තුළ ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ අනුව 2025 වර්ෂයේ වැඩසටහන ඉහළ භෞතික සහ මූල්‍ය ප්‍රගතියක් අත්කරගෙන ඇති බව වගකීමෙන් යුතුව දැනුම් දෙමු.
එසේම 2025 වර්ෂය තුළ ජාතික අයවැය ප්‍රතිපාදන හා පෞද්ගලික, මහජන සහයෝගය මත සමාජීය, ආචාරධර්මීය හා පාරිසරික අංශ ප්‍රවර්ධනය පිණිස, එම කුළුණු තුන ඔස්සේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 59 අතර ආබාධිත ප්‍රජාවට පහසුකම් සැපයීම, සෞඛ්‍යාරක්ෂිත ආහාර ප්‍රවර්ධනය, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම, නාගරික ප්‍රජාවන්ට හා සංචාරක කලාප තුළ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමිතිගතව ප්‍රවර්ධනය, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල දූෂණය වැළැක්වීම, ජලාශවල ආරක්ෂාව, නාගරික වනාන්තර නිර්මාණය, ජලාපවාහන පද්ධතිවල පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීම, බස් නැවතුම් ප්‍රමිතිගතව සංවර්ධනය යනාදී වූ ව්‍යාපෘති ද රට පුරා දුම්රිය ස්ථාන 100ක් සංවර්ධනය කිරීම, කියවීම ප්‍රවර්ධනය සඳහා පුස්තකාල ප්‍රවර්ධනය වැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන ලද බව මහජනතාවගේ දැනගැනීම සඳහා දන්වා සිටිමු. රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක කරවන ව්‍යාපෘති සඳහාත් මහජන සහභාගීත්වයත් හැකි සෑම විටම පෞද්ගලික අංශයේ සහභාගීත්වයත් ලබාගනු ලබයි. මෙම ඇතැම් ව්‍යාපෘති මේ වන විට සාර්ථකව අවසන් කර ඇති අතර ඇතැම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මේ අතරින් රාජ්‍ය මූල්‍ය යොදවාගෙන ප්‍රධාන වශයෙන් රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක කරවන ව්‍යාපෘති කිහිපයක තොරතුරු මහජනතාවගේ/ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ දැනගැනීම සඳහා ඇමුණුමක් ලෙස ඉදිරිපත් කර ඇත.
ඇමුණුම
01. නිල්ධජ වෙරළ තීර ගොඩනැගීමේ ව්‍යාපෘතිය
ශ්‍රී ලංකාවට ස්වභාවධර්මයෙන් කිලෝමීටර් 1600ක සුන්දර වෙරළ තීරයක් හිමිවී තිබුණ ද, ජාත්‍යන්තර නිල්ධජ වෙරළ සහතිකය ලබාගත් එකදු වෙරළ තීරයක් හෝ නිර්මාණය කර නැත. මේ තත්ත්වය වෙරළ තීරය මූලික කරගත් සංචාරක ව්‍යාපාරයට සුදුසු තත්ත්වයක් නොවන බව අවබෝධ කරගැනීම මත ක්ලීක් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ එක්ව නිල්ධජ වෙරළ තීරයන් ගොඩනැගීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නිල්ධජ වෙරළ සහතිකය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම කාර්යය සඳහා තලල්ල වෙරළ තීරය තෝරාගෙන 2025 වර්ෂයට නියමිත කාර්යයන් කොටස මේ වන විට නිම කර ඇත. 2026 වර්ෂය අවසාන වන විට නිල්ධජ වෙරළ සහතිකය ලබා ගැනීමට අවශ්‍ය සියලු නිර්ණායකයන් සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත. එසේම 2026 වසරේදී තවත් වෙරළ තීරයන් කිහිපයක් මේ සඳහා තෝරාගෙන ඉදිරි වසර දෙක තුළ අදාළ නිර්ණායකයන් සම්පූර්ණ කිරීමට සැලසුම් කරමින් පවතී.
02. ප්‍රධාන ජලාශ සංරක්ෂණය
විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකාව විශාල මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා පරිමාණ ජලාශ පද්ධතියකට උරුමකම් කියනු ලැබේ. මෙම ජලාශවල යහ පැවැත්මට අත්‍යවශ්‍ය රක්ෂිත සීමා මිනිස් ක්‍රියාකාරකම් වලට ලක්වී ඇති අතර අනවසර අත්පත්කරගැනීම් වලින් ඒවායේ පැවැත්මට බරපතල තර්ජන එල්ලවී ඇත. මේ තත්ත්වය තේරුම්ගත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රධාන ජලාශවල රක්ෂිත මායිම් මැනුම් කර ස්ථීර මායිම් ගල් යොදා සලකුණු කිරීම ජලාශ සංරක්ෂණය කිරීමේ මූලික පියවරක් ලෙස ආරම්භ කරන ලදී. මේ වන විට ප්‍රධාන ජලාශ 20ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති අතර ව්‍යාපෘතියේ සියලු ඉලක්කයන් අත්පත් කරගන්නා තෙක් ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර ඇත.
03. ගංගාවල ජල දූෂණය වැළැක්වීම සඳහා වූ වැඩසටහන
මේ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සමස්ත කැලණිගඟ ද්‍රෝණිය තුළ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ජල දූෂණයට හේතු වන සියලු කාරණාවන් හා එම ජල දූෂණය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග යනාදිය පිළිබඳ පූර්ණ වශයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ලබා ගැනීම සිදු කෙරේ. මෙම අධ්‍යයනය 2026 වසරේදී නිම කිරීමට සැලසුම් කර ඇති අතර එම වාර්තාවේ නිර්දේශ මත කැලණිගඟ ද්‍රෝණිය තුළ ජල දූෂණය වැළැක්වීමේ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, තවත් ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් සඳහා වැඩසටහන පුළුල් කිරීමටත් සැලසුම් කර ඇත.
04. වෙරළබඩ උද්‍යාන 100ක් නිර්මාණය කිරීම
ශ්‍රී ලංකාවට උරුම වී ඇති සුන්දර වෙරළ තීරය මහජනතාවට සහ සංචාරකයන් සඳහා තිරසාරව භාවිතා කිරීමට පහසුකම් සහිතව දිවයින වටා කුඩා වෙරළ උද්‍යාන 100ක් සංවර්ධනය කිරීම 2025 වර්ෂයේදී පරිසර අමාත්‍යාංශය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කර ඇති අතර මේ වන විට වෙරළ උද්‍යාන 44ක වැඩ නිම කර ඇත. 2026 වර්ෂයේදී ඉතිරි වෙරළ උද්‍යාන නිර්මාණය කිරීම සිදු කෙරේ.
05. ෆයිබර් ග්ලාස් ප්‍රතිචක්‍රීකරණය කිරීම
ශ්‍රී ලංකාව තුළ ෆයිබර් ග්ලාස් බෝට්ටු විශාල වශයෙන් භාවිතා කරන අතර ඒවා භාවිතා කළ නොහැකි මට්ටමට පත්වූ පසු ධීවර වරායන් තුළ සහ වෙරළ තීරය තුළ අතහැර දැමීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වී ඇත. මෙම බෝට්ටු නැවත භාවිතා කිරීම සඳහා වැඩපිළිවෙලක් හෝ ක්‍රමවේදයක් නොමැති වීමෙන් එය බරපතල පාරිසරික ගැටලුවක් බවට පත්වී තිබේ. එසේම මෙසේ අතහැර දමා ඇති බෝට්ටු නිසා ධීවර වරායන් තුළ විශාල ඉඩකඩක් අවහිර වීමෙන් ධීවර වරායන් වල ක්‍රියාකාරිත්වයට බරපතල තර්ජනයක් එල්ලවී ඇත. මේ තත්ත්වයට විසඳුමක් වශයෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ධීවර අමාත්‍යංශය සහ සීනෝර් ආයතනය එක්ව ෆයිබර් ග්ලාස් ප්‍රතිචක්‍රීකරණය කර ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරලීමේ ව්‍යාපෘතියක් 2025 වර්ෂයේ අවසාන කාර්තුවේදී ආරම්භ කරන ලදී. මේ සඳහා නවීන යන්ත්‍රෝපකරණ ආනයනය කර බෙන්තර වරාය තුළ විශේෂිත කර්මාන්ත ශාලාවක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇත.
2026 වර්ෂයේ මුල් කාර්තු දෙක තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර දිවයිනේ එක්රැස්වී ඇති සියලුම ෆයිබර් ග්ලාස් බෝට්ටු ඉදිරි වසර 02 තුළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සැලසුම් කර ඇත.
06. ශ්‍රී ලංකාව තුළ කසල කළමනාකරණය විද්‍යාත්මකව ප්‍රවර්ධනය කිරීම
ශ්‍රී ලංකාව තුළ කසල කළමනාකරණයේදී පොලිතින් හා ප්ලාස්ටික් කළමනාකරණය විශේෂ වැදගත්කමක් ගන්නා අතර පරිසර සංරක්ෂණය සඳහා මෙම පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා වැදගත් වේ. මේ තත්ත්වය වටහාගත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා පළාත් පාලන ආයතන සමඟ එක්ව පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන (Material Recovery Facilities) ගොඩනැගීම 2025 අයවැය ප්‍රතිපාදන තුළ ආරම්භ කරන ලදී. මේ යටතේ 2025 වර්ෂය තුළ පළාත් පාලන ආයතන 04ක ද්‍රව්‍ය ප්‍රතිසාදන මධ්‍යස්ථාන ගොඩනැගීම ආරම්භ කළ අතර වැඩසටහන 2026 වර්ෂය තුළ තවත් පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වේ.
07. කසල කළමනාකරණය සඳහා කසල ප්‍රවාහනය විධිමත් කිරීම
කසල නිවැරදි සෞඛ්‍යාරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රමවේදයකට අනුව ප්‍රවාහනය කිරීම කසල කළමනාකරණයේදී ඉතා වැදගත් වේ. එසේ වුව ද ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම විශාල ගැටලුවකි. මේ තත්ත්වය මත කසල ප්‍රවාහනය සඳහා නවීන සම්පීඩක යන්ත්‍ර (Compactors) 16ක් 2025 වර්ෂය තුළදී මිලදී ගැනීමට සැලසුම් කරන ලද අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මුදල් ඉතිරි වීම මත සම්පීඩක යන්ත්‍ර 20ක් මිලදී ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ටෙන්ඩර් ප්‍රදානය කර ඇති අතර සම්පීඩක යන්ත්‍ර 2026 වර්ෂයේ මාර්තු මාසයේදී ලැබීමට නියමිතය. 2026 වර්ෂයේදී තවත් සම්පීඩක යන්ත්‍ර 10ක් මිලදී ගැනීමට ද සැලසුම් කර ඇත. මේවා ප්‍රමුඛතා පිළිවෙල මත පළාත් පාලන ආයතන වලට ලබාදීමට සැලසුම් කර ඇත.
08. ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය
ශ්‍රී ලංකාව තුළ පැරණි වීම හෝ වෙනත් හේතු මත කඩා ඉවත් කරන ගොඩනැගිලි අපද්‍රව්‍ය නිවැරදි ක්‍රමවේදයකට බැහැර කිරීමක් සිදු නොවුනු අතර බොහෝවිට ඒවා මගින් පහත් බිම් ගොඩකිරීම නිසා නොයෙකුත් පාරිසරික ගැටලු පැනනැගී ඇත. මේ තත්ත්වය මත ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයත්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවත් එක්ව ගොඩනැගිලි අපද්‍රව්‍ය භාවිතා කර ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිර්මාණය කිරීමේ නවීන ප්‍රතිචක්‍රීකරණ කම්හලක් ගොඩනැගීම ආරම්භ කරන ලදී. එහි ඉදිකිරීම් කටයුතු 2026 වසරේ මුල් කාර්තුව තුළ අවසන් කර ක්‍රියාත්මක කරවීමට නියමිතය. කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය එමගින් පරිසර හිතකාමී වනු ඇත.
09. කොළඹ ජල මාර්ග තිරසර නඩත්තුව
මෙමඟින් කොළඹ හා ඒ අවට පිහිටි ඇළ මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු සිදු කෙරේ. එයින් පාරිසරික සංරක්ෂණයට අමතරව කොළඹ හා ජනාකීර්ණ ප්‍රදේශ වල ගංවතුර පාලනය, ඩෙංගු හා චිකන් ගුන්යා ඇතුළු රෝග පැතිරීම පාලනය ද සිදු වේ. මෙම කටයුතු 2026 වසර සඳහා ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
10. කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග පද්ධතිය කළමනාකරණය කිරීම
මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග පද්ධතියේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා කළමනාකරණ සැලැස්මක් නිර්මාණය කිරීම සිදු කෙරේ. ඒ සඳහා ව්‍යාපෘති ප්‍රදේශය ලෙස ශාන්ත සෙබස්තියන් දකුණ හා ශාන්ත සෙබස්තියන් නැගෙනහිර ඇළ මාර්ග මෙන්ම ඒ ආශ්‍රිත වර්ග කිලෝමීටර් 5.8ක් වන ජල පෝෂක ප්‍රදේශ හඳුනා ගෙන ඇත. ඒ අනුව ලක්ෂීය හා ලක්ෂීය නොවන දූෂණ ප්‍රභව හඳුනා ගැනීම, ජලයේ ගුණාත්මකභාව පරීක්ෂා කිරීම හා කළමනාකරණ සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රජාව හා ආයතන මෙන් අනෙකුත් පාර්ශව දැනුවත් කිරීම සිදු කෙරේ.
11. නාගරික ඇළ මාර්ග වලට අපද්‍රව්‍ය මුදා හැරීම පාලනය කිරීම.
කොළඹ ප්‍රධාන ඇළ මාර්ග පද්ධතිය දූෂණය වීම වැළැක්වීම යටතේ දෙමටගොඩ, මහවත්ත සහ සර්පන්ටයින් ඇළ මාර්ග වලට ඝන අපද්‍රව්‍ය බැහැර කරවීම කළමනාකරණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එසේම ඇළ ඉවුරු අවට ජීවත් වන ජනතාව මෙම කළමනාකරණ සැලැස්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමත්, එයට අනුගත කරගැනීමත් සිදු කෙරේ. විවිධ පාර්ශ්ශව, ආයතන හා සම්බන්ධ වී කැළි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමෙන් නිසි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීම මෙමඟින් සිදු වේ.
12. ජංගම CCTV නිරීක්ෂණ පද්ධතියක් මගින් නීති විරෝධී ලෙස කසළ බැහැර කරන ස්ථාන නිරීක්ෂණය
පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීමට සමාජය තුළ ඇති පෙළඹවීම අවම කිරීමට යම් සීමාවක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව නිතී විරෝධි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම නිරීක්ෂණය කිරීම හා එසේ නිතී විරෝධි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර ගැනීම මෙමගින් සිදු වේ. මෙම ව්‍යාපෘතිය 2026 වර්ෂයේ මුල් කාර්තුව තුළ සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.
13. සුවදායී දිවියකට සෞඛ්‍යමත්/සුරක්ෂිත ආහාර ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය මගින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම විශේෂයෙන් සිදු කෙරේ. ආහාර සුරක්ෂිතතා උල්ලංඝනය කිරීම් වාර්තා කිරීමට පුරවැසියන් උනන්දු කරවීම සහ රජයේ සහතික ක්‍රමවේදය (SLSI) ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයකි.
මේ සඳහා රූපවාහිනී වැඩසටහන්, ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන අතර, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම සහ කර්මාන්ත යන අමාත්‍යාංශවල සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ. මීට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල සෞඛ්‍ය කඳවුරු ද සංවිධාන කෙරේ. එම සෞඛ්‍ය කඳවුරු හරහා ආහාරවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ. මෙම වැඩසටහන 2026 වර්ෂය තුළ ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 450ක මුදලක් වෙන් කර ඇත.
14. මාර්ග ආරක්ෂාව පිළිබද ‘Take Care’ වැඩසටහන
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විද්‍යුත් හා සමාජ මාධ්‍ය භාවිතා කර, පාසල් දරුවන් ප්‍රමුඛ කර ගනිමින් සමස්ත මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. දිවයිනම ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප 100ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර මීට සමගාමීව මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තුළ අඛණ්ඩව වර්ෂය පුරා විකාශනය කෙරේ. 2026වර්ෂය තුළ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
15. නාගරික සංවර්ධන අධිකාරිය හා පළාත් පාලන ආයතන සමඟ එක්ව මහජනතාව හා සංචාරකයින් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැළසීම.
නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව තෝරාගත් සංචාරක කේන්ද්‍රස්ථාන 20ක ප්‍රමිතිගත වැසිකිළි පද්ධති ඉදි කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වන විට නිම කර, ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. එම වැසිකිළි පද්ධති තිරසර ලෙස නඩත්තු කිරීම සඳහා ක්‍රමවේදයන් ද සැලැසුම් කර ඇත. මීට අමතරව පළාත් පාලන ආයතන මඟින් නඩත්තු කරනු ලබන මේ වන විට අබලන් තත්ත්වයේ පවතින වැසිකිළි පද්ධති වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා පළාත් පාලන ආයතන හා එක්ව ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ පළාත් පාලන ආයතන යටතේ ඇති වැසිකිළි පද්ධති 37ක් පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කෙරේ. මීට අමතරව ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමට ද වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මෙම සියලු පහසුකම් අබාධිත ප්‍රජාවට ද ප්‍රවේශ විය හැකි පරිදි සංවර්ධනය කෙරේ.
16. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය
කොළඹ නගරයට පැමිණෙන මගී ජනතාවට ආරක්ෂිත මෙන්ම ඉහළ මට්ටමේ පහසුකම් සහිත ප්‍රධාන බස් නැවතුම්පොළක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙනුයේ දශක 6කට පසුවයි. එමඟින් වඩා සුවපහසු මෙන්ම දියුණු තාක්ෂණික මෙහෙයුම් පද්ධතියකින් සමන්විත නව බස් නැවතුම්පොළක් බවට පත් කෙරෙණු ඇත. ඒ යටතේ මඟීන්ට, රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට අවශ්‍ය විවේකාගාර ඇතුළු පහසුකම් ද සංවර්ධනය කෙරේ.
17. අධිකරණ පද්ධතියේ නඩු කළමනාකරණය වේගවත් කිරීමට තාක්ෂණය යොදා ගැනීම.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම (E – Courts), ජාතික ප්‍රමුඛතා උපායමාර්ගයක් ලෙස හඳුනාගෙන, කඩිනමින් ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුවේ. මුල් අදියර ලෙස ශ්‍රේෂ්ඨාධිරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් හා සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හඳුන්වා දීම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. එසේම අධිකරණ භූමි තුළ කාලයක් තිස්සේ එක්රැස් වී තිබූ නඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අධිකරණ සේවා කොමිෂන් සභාව හා එක්ව ඉවත් කිරීම මගින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම හා ප්‍රියජනක ස්ථාන බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර මේ වන විට එම වැඩකටයුතු අවසන් අදියරේ පවතී.
18. තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම පාලනය කිරීම
ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය කිරීම මඟින් නිරෝගී ජනතාවක් බිහිකිරීම හා පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම ජනතාව අතරට ගෙන යන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. මෙය පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන අතර ධූමායනය, ජලය එක්රැස් වන ස්ථාන විනාශ කිරීම, ජලය බැස යන පරිදි කාණු පිරිසිදු කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරේ.
19. තාක්ෂණික රථවාහන නියාමන පද්ධතිය යොදා ගනිමින් රථ වාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම
මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා කොළඹ නගරය තුළ තෝරාගත් ස්ථාන වල CCTV ජාල ඒකාබද්ධ කිරීම, අපරාධ අනාවරණය කිරීම සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි කළමනාකරණය වැඩිදියුණු කිරීම, මහජන ආරක්ෂාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය මූලිකව සිදු කරන මෙම ව්‍යාපෘතියේදී ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීම (ANPR) තාක්ෂණය භාවිතා කෙරේ. රතු එළියට විරුද්ධව ධාවනය කිරීම, මංතීරු නීති උල්ලංඝනය සහ නීති විරෝධී වාහන නැවැත්වීම වැනි වැරදි කැමරා මගින් ස්වයංක්‍රීයව අනාවරණය කර ගැනීම මෙහි විශේෂත්වයයි.
20. ආබාධ සහිත සංචාරකයින් සඳහා Buggy Cart/Golf Cart ව්‍යාපෘතිය
2025 සහ 2026 වර්ෂ සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විටත් ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කර අවසන්ය. මෙහිදී හෙක්ටයාර් 36,474ක් විශාල සිංහරාජ වනාන්තරයේ රත්නපුර කුඩව පිවිසුමේ සිට කිලෝමීටර් 2ක් දුරට Buggy Cart 3ක් ද, හෙක්ටයාර් 6,144ක් විශාල කන්නෙලිය වනාන්තරයේ තවලම පිවිසුමේ සිට කිලෝමීටර් 4ක් දුරට Buggy Cart 2ක් ද යෙදවීමට සැලසුම් කර ඇති අතර, 2026 වර්ෂය තුළ ව්‍යාපෘතිය අවසන් කෙරේ.
21. පාසල් හරිත කලාප පිහිටුවීමේ ව්‍යාපෘතිය
මෙහිදී පාසල් දරුවන්ගේ පාරිසරික සාක්ෂරතාව 10%කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර, පරිසර හිතකාමී ද්‍රව්‍ය (පදම් කළ දැව) යොදා ගනිමින් එළිමහන් පන්ති කාමරයක් සකස් කිරීම සහ කොම්පෝස්ට් ඒකකයක් ස්ථාපිත කිරීම ද සිදු කෙරේ.
22. ප්‍රජා මූලික ඵලදායී ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය 2025 සිට 2027 දක්වා ක්‍රියාත්මක වන අතර, තෝරාගත් ගම්මානවල පවුල්වල ගෘහස්ථ ආර්ථිකය 25%කින් ඉහළ නැංවීම, බෝ නොවන රෝග අවදානම 25%කින් අඩු කිරීම සහ සමාජ විරෝධී ක්‍රියා 3%කින් අඩු කිරීම වැනි ඉලක්කම් සහිත දර්ශක (KPIs) මත පදනම්ව ක්‍රියාත්මක වේ. ගම්මානයේ ගැටලු හඳුනා ගැනීමට ‘ප්‍රජාකව’ (Community Circle) නමින් ක්‍රමවේදයක් භාවිතා කරයි.
23. මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය
මෙහිදී නේවාසික ප්‍රතිකාරවලට අකමැති අය සඳහා දිවා කාලයේ ප්‍රතිකාර ලබා ගත හැකි ‘ගොඩවැදීමේ මධ්‍යස්ථාන’ (Drop-in Centers) බදුල්ල, වාරියපොළ සහ යාපනය යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව 1927 ක්ෂණික දුරකථන අංකය ප්‍රවර්ධනය කිරීම සහ දින 14ක ප්‍රතිකාර කඳවුරු පැවැත්වීම ද සිදු කෙරේ.
24. යාන්ත්‍රික මළජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම
ශ්‍රී ලංකාවේ 98%ක් පමණ ජනතාව වළ වැසිකිළි හෝ පූතික ටැංකි භාවිතා කරන බැවින්, ගලි බවුසර් මගින් ඉවත් කරන අපද්‍රව්‍ය විධිමත් පිරිපහදුවකින් තොරව පරිසරයට මුදා හැරීම වැළැක්වීම මෙහි අරමුණයි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.
ජනාධිපති මාධ්‍ය අංශය
2026.01.08










