ජනාධිපති අරමුදලෙන් අනීතික ලෙස මුදල් ලබා ගත් හිටපු මැති ඇමතිවරු පිළිබඳව නාම ලේඛනයක් පසුගිය වසරේ දෙසැම්බර් 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉදිරිපත් කළ එම ලේඛනය හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.
“කේ. පී. එස්. කුමාරසිරි රුපියල් 953,430යි. 2022 දී තමයි අරගෙන තිබෙන්නේ. ජයලත් ජයවර්ධන, ලක්ෂ 10යි; නාමල් ගුණවර්ධන ලක්ෂ 10යි; ධර්මදාස බණ්ඩා ලක්ෂ 10යි; විදුර වික්‍රමනායක ලක්ෂ 15යි; විමලවීර දිසානායක ලක්ෂ 30 යි; නුවර දිස්ත්‍රික්කයේ ලකී ජයවර්ධන ලක්ෂ 16.2යි; පී. චන්ද්‍රසේකරන් ලක්ෂ 14යි; ජෝන් අමරතුංග 2014දී අරගෙන තිබෙනවා, රුපියල් ලක්ෂ 40ක්. ජෝශප් මයිකල් පෙරේරා ලක්ෂ 27යි; ටී. බී. ඒකනායක ලක්ෂ 48යි; ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා ලක්ෂ 55යි. මේ සරත් ෆොන්සේකා නොවෙයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ legal adviser, නීතිඥ ජයන්ත වීරසිංහ 2022 දී අරගෙන තිබෙනවා ලක්ෂ 90ක්; ඇලික් අලුවිහාරේ ලක්ෂ 22යි; රංජිත් අලුවිහාරේ ලක්ෂ 8.6යි. අලුවිහාරේ පරම්පරාවම බෙහෙත් අරගෙන තිබෙන්නේ ජනාධිපති අරමුදලින්. තව තිබෙනවා. රාජිත සේනාරත්න ලක්ෂ 100යි; කෙහෙළිය රඹුක්වැල්ල ලක්ෂ 110යි; අර හෝටලයේ කාමරයෙන් කාමරයට පනින්න ගිහිල්ලා. මේ ලක්ෂ 110 අරගෙන තිබෙන්නේ for medical treatment abroad. එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන ලක්ෂ 112යි; රංජිත් ද සොයිසා ලක්ෂ 188යි; දි.මු. ජයරත්න ලක්ෂ 300යි; මේවා ජනාධිපති අරමුදලේ මුදල්. අපේ ගමක කෙනෙක් මේකෙන් ලක්ෂ දෙකක්, තුනක්, හතරක් ගන්න කොච්චර මහන්සි වෙනවාද? මේ අය මුදල් අරගෙන තිබෙන්නේ අරමුදලේ මොන category එකෙන්ද? දුප්පත්කම අඩු කරන්නද, ආගමට සේවයක් කරන්නද, ඥානය වර්ධනය කරන්නද? ඥානය වර්ධනය කරන්නද! මේ බලන්න, ඒ ඔක්කෝටම දීලා තිබෙන්නේ ලක්ෂ 90, 100, 250, 300 ආදී වශයෙන්. මේ නැති බැරි මිනිස්සු! මුදල් අරගෙන තිබෙන්නේ මේ අරමුදලින්. සමහර වෙලාවට පරම්පරාවම අරගෙන තිබෙනවා මෙතැනින්. එහෙම තමයි ජනාධිපති අරමුදල පාවිච්චි කරලා තිබෙන්නේ.”










