අද උදෑසන 6.00න් අවසන් වු පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිලිමීටර් 169ක වර්ෂාපතනයක් මෙලෙස එම ප්‍රදේශයට වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 158කත්, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 145ක වර්ෂාපතනයක්ද පැවති බව සඳහන් වේ.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම ගතවු පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ක්ෂණික ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
මේ අතර ගත වූ දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර සඳහන් කරන්නේ කැළණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවලද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවය.
අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදිනි කරුණාපාල පවසයි.










