මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බිඳ දැමිය නොහැකි බැඳීම්වල සංකේතයක් – සන්තෝෂ් ජා

මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බිඳ දැමිය නොහැකි බැඳීම්වල සංකේතයක් – සන්තෝෂ් ජා

“මෙම විශේෂ අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මෙම අවස්ථාව ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල දීර්ඝකාලීන මිත්‍රත්වය සංකේතවත් කරන වැදගත් අවස්ථාවක්. ඒ වගේම මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර බිඳ දැමිය නොහැකි බැඳීම්වල සංකේතයක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සංස්කෘතිකමය වශයෙන් නිවුන් සහෝදරයන් වෙනවා. අපි අපේ අතීතයට වඩා දීප්තිමන් අනාගතයක් වෙනුවෙන් එක්ව පිය නගනවා.” යැයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර දිසානායක සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදි පැවති මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා,

“සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තතත්වය උසස් කිරීම වෙනුවෙන් අපි සෑමවිටම සහාය ලබා දෙනවා. එහිදී නිවාස, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, සෞඛ්‍ය සේවා සහ ප්‍රජා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල මනා සහයෝගයකින් කටයුතු කරනවා. එහිදී කදුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ මෙම නිවාස ව්‍යාපෘතිය ඉතා වැදගත් අවස්ථාවක්.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් නිවාස 65,000කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා අපි දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම වතුකරයේ රෝහලක් ඉදිකිරීමට, මාතලේ මහත්මා ගාන්ධි ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉදිකිරීමට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. මේවා වතුකරයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල සුළු කොටසක් පමණයි. පසුගිය වසරේ, අපි STEM ගුරු පුහුණු වැඩසටහනක් සාර්ථකව අවසන් කළා. අපි මෙම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. එමෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සීතාරාමන් මාළිගාවේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම පවුලේ සාමාජිකයෙකුට දැනෙන වගකීමක් ලෙස අපිට දැනෙනවා. අපි ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරනවා.

මහා කවියෙකු වන තිරුවල්ලුවර් (Tiruvalluvar) විසින් රචිත Virupparaach chutram iyaiyin arupparaa aakkam palavum tharum යන කූරල් (Kural) හි අර්ථය අනුව “නෑදෑයෙකුගේ නොවෙනස් වන ආදරය” අසීමිත වර්ධනයක මූලාශ්‍රයක් වන බවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර්, සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති දිනිදු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න ඇතුළු මහජන නියෝජිතයෝද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn