ජපාන රජයේ ආරාධනයකට අනුව එරට සිදු කළ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර දිසානායක අද (01) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
පසුගිය සැප්තැම්බර් 27 වන දා සිය ජපාන නිල සංචාරය ආරම්භ කළ ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවති “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතීන දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සබඳතා පුළුල් කෙරෙන ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකටද ජනාධිපතිවරයා මෙහිදී එක් වූ අතර, ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba), ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu), ආරක්ෂක අමාත්‍ය ඩීඑම් නකටානි (DM Nakatani) සහ නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සභාපති ටනාකා අකිහිකෝ (Dr. TANAKA Akihiko) ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විය.
එමෙන්ම, ජනාධිපති අනුර දිසානායක ජපාන අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වී සුහද පිළිසඳරකද නිරත විය.
මේ අතර, ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකටද එක් වූ ජනාධිපතිවරයා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සඳහාද එක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සහ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති ආයෝජන හිතකර පරිසරය පිළිබඳව එහිදී පැහැදිලි කළේය.
ජපාන – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි (Project for the Enhancement of Productivity in the Dairy Sector) ප්‍රදාන ගිවිසුමට (Grant Agreement) අත්සන් තැබීමද ජනාධිපතිගේ සංචාරයට සමගමීව සිදු කෙරිණි.
ජනාධිපති අනුර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක් වූහ.










