සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රහසිගතව ගෙන ගිය හවුල් දේශපාලනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ එම පක්ෂ තුළ ගැටීම් උග්‍ර වී ඇතැයි වාර්තා වේ.
මේ අතරින්, අභ්‍යන්තර ගැටුම් දරුණු වී ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂය තුළ බව වාර්තා වේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර් සහ චමින්ද විජේසිරි ස්වාධීන වීමට ඉඩ ඇති බව දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රබල සංවාදයක් හට ගෙන තිබේ. ඊට අමතරව එරාන් වික්‍රමරත්න සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා ද එම පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි තව දුරටත් වාර්තා වේ.
සමගි ජන බලවේගයේ සභාපති තනතුරෙන් ඉමිටියාස් බාකිර් මාකර් පසුගිය මාර්තු 18 වෙනි දින ඉල්ලා අස් වූ අතර මේ වනතුරුත් එම පුරප්පාඩුව පුරවා ගැනීමට අසමත් වී සිටී. කොළඹ මහ නගර සභාව පිළිබඳ ප්‍රශ්නය මූලික කර ගනිමින් හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරුන් මෙන් ම එරාන් වික්‍රමරත්න සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ වනවිටත් නිහඬ විරෝධයක යෙදී සිටිති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද එවැනි ම මත ගැටුම් හට ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ තලතා අතුකෝරල අතර ගැටුම් උග්‍ර වී රවී කරුණානායක දැඩි නිහඬතාවක පසුවේ.










