අනුරාධපුර අනුදි ලෝක කිරුල ලංකාවට ගෙන එයි?

අනුරාධපුර අනුදි ලෝක කිරුල ලංකාවට ගෙන එයි?

ලෝක රූ රැජින තරඟයේ කිරුල අනුරාධපුර අනුදි විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒ දැයි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් උපුටා ගෙන පහත දැක්වේ.

අනුරාධපුරේ මිනිස්සු විදියට අනුදි ගැන අපිට මෙච්චර සතුටු ඇයි?

මුලු ලංකාවම අනුරාධපුරේ මේ ගෑණු ළමයට තව ටිකක් හයියෙන් අත්පොලසන් දෙන්න ඕන ඇයි?

ඔයාලට හිතෙන්නේ නැද්ද “අනුදි” කියන නමම අනුරාධපුරේ කියන නමින් බිදිලා ආපු නමක් කියලා.මට නම් අනුදි කියන්නේ අනුරාධපුරේ සංකේතයක්

අනුදි එයාගේ කතාවෙ එක තැනක කියනවා මගේ ගම ලංකාවේ පුංචි නගරයක් වෙන අනුරාධපු⁣රය. ඒ තමයි ලංකාවේ පලවෙනි රාජධානිය කියලා. ඒ විතරක් නෙවෙයි අනුදි තව කියනවා අනුරාධපුරේ කියන්නේ ලෝක උරුමයන්ගෙන් එකක්, ඒත් එදා අනුරාධපුර කවුරුත් හිතන්න නැතුව ඇති කවදාහරි දවසක අනුරාධපුර ලෝක උරුමය ගැන ලෝකයට අනුරාධපුරේම කෙනෙක් හඩ නඟා කියයි කියලා.

සමහරු කියලා තිබුනා අනුදිට එහෙම නොකියන්නයි තිබුනේ ඒක හීනමානය වගේ කෑල්ලක් කියලා. මාස්ටර් ප්ලැන් එකක⁣ට හැමදේම ප්ලැන් කරපු අනුදි මේ වගේ තැනක⁣ට හීන මානය ඔබා ගන්නැ සහ අනුදි වගේ කෙල්ලෙකුට අනුරාධපුරේ ඉපදිච්ච එක හීනමානයක් වෙන්න විදියක් නැ.

අනුදි ඒ විනාඩි පහ ඇතුලෙත් කියන්න උත්සහ කලේ තමන් ඉපදුන ගමේ මනුස්සයෙක් හීනෙන් පවා නොහිතපු අරුමැසි ගමනක් තමන් ආපු බව.

අනුරාධපුර අම්මලාගේ තාත්තලාගේ ලොකුම හීනය අදටත් තමන්ගේ දරුවා ගුරුපත්වීමක් අරන් ගමට එන එක. එතනින් එහාට විශාල හීන දකින්නත් , හීන දකින්න අවැසි වටපිටාව වත් මේ මෑතක් වෙනකල් අපිට තිබුනෙ නෑ. අනුරාධපුර ඈත ගම්වල ගෑණු ළමයි අදටත් ඔසප් වුනාම අදින්නේ රෙදි කෑලි. සමහර ළමයි සනීපාරක්ෂක තුවා කියලා දෙයක් ඇස් දෙකට දැකලත් නෑ. ඒ රෙදි කැලි වලට ගහන හැට්ටකටු රැධිරය එක්ක එකතු වුනාම සමහර ළමයිට විශ වෙනවා. ගම්වල ගෙවල් වල අදටත් හොද ඇදුම් වලට යට කරලා ගෑණු දරුවො ඒ රෙදි කෑලි වේලෙන්න දානවා. හංගලා වෙ⁣ලෙන නිසා ඒවා හොදට වේලෙන්නෙත් නෑ. දරුවො අසනීප වෙනවා.

අනුදි “සහේලි ” පදනම පටන්ගෙන තියෙන්නේ ඒ දරුවො වෙනුවෙන්.

ඉතිං තමන්ගේ මාස් ශුද්ධිය වුනාම ඇදගන්න සනීපාරක්ෂක තුවා කියලා ජාතියක් තියනවද නැද්ද කියලා වත් නොදන්න සමහර දරුවො ඉන්න පලාතකින්, බොන වතුර ටික විෂ වෙලා වකුගඩු දෙකම දියවෙලා යන අහිංසක මිනිස්සු ඉන්න පලාතකින්, ජීවිතේ ලොකුම අරගලය මිස් වර්ල්ඩ් යන එක නෙවෙයි හවසට අලි ගම වදින්න කලින් ගෙදර යන්න දගලන මිනිස්සු ඉන්න පලාතකින් එච්චර ලොකු හීනයක් දැකපු කෙල්ලෙක් රටක් නියෝජනය කරන්න ලෝකයක් එක්ක එක පෙලට හිටගන්න ගියා කියන්නෙම ⁣ලොකු දෙයක් නෙවෙයිද?

අනුදි එක තැනක කියනවා තමන් නිදහස් අධ්‍යාපනයේ ප්‍රඩක්ට් එකක් කියලා. ඇත්ත අනුදි ගියේ අනුරාධපුර සෙන්ට්‍රල් එකට, එතනින් පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට.. ඒ වගේ තැන් දෙකකින් ආපු ගෑණු ළමයෙක් අච්චර ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා. හැමෝම දුෂ්කරයි කියන, වන්නිය කියන අනුරාධපුර ඉස්කෝලෙකින් ඉගෙන ගත්ත ළමයෙක් එහෙම ලස්සනට ඉංග්‍රීසි හසුරවද්දි අපිට සතුට නැද්ද?

මේචචර කල් අපි දැකපු රෑප රාජිනී ප්‍රතිරූපය අනුදි ඒ බිදින්නේ. මම පවා හිතාගෙන හිටියෙ බියුටි පැජන්ට් වලට තේරෙන්නේ ඉන්ටනැෂනල් ඉස්කෝල වලට ගිහින් පිටරටවල කැම්පස් වලින් උපාධි ගත්ත අය විතරයි කියලා.

මම හැමදාම කියන්නේ අනුරාධපුරේ ඉදලා එංගලන්තේ ගුරුවරුන්ට උගන්නන තැනට මාව අරගෙන ආවෙ එවකට අධ්‍යාපන ඇමති අනුරාධපුර නගරයේ හැම වටරවුමකම එල්ලලා තිබුන බෝඩ් එකක් කියලා.

” උතුරුමැද පලාතේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත”

අනුදි, ඒ වචන ටික මහ පොලොවෙ පැලකරලා. අද ලෝකයක් ඉස්සරහා ඒ පැලේ ගහක් වෙලා හැදුන මල් ටික අපි මේ දකින්නේ.

නොච්චියාගම, කහටගස්දිගිලිය, ගලෙන්බිදුණු වැව, විලච්චිය, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, කැකිරාව ,එතනින් ගිහාම කුරුණැගල, මොනරාගල ඇත ගම්වල ගෑණු ළමයි හෙට ඉදලා ලෝක රූ රැජින තරග වලට සමහර විටමෙච්චර කල් අපිට යන්න බෑ කියලා හිතාගෙන හිටිය ඊටත් වඩා එහා ගියපු වේදිකා වලට යන්න හීන දකියි.

ඉතිං මොනතරම් නම් සතුටුද?

මේක කියවලා කියන්න එපා අනුදිගේ උපන් නගරය අල්ලගෙන බෙදෙන්න හදනවා කියලා.

කොහෙත්ම නෑ,

අපි රටක් විදියට සතුටු වෙන්න ඕන. අපේ රටේ කැලැ ඇතුලේ මෙච්චර ලස්සන මල් පිපෙන නිසා. ඒ මල් වලට ඒ කැලෙන් එලියට එන්න අනුදි කියන්නේ මග පෙන්වන පහන් තාරකාවක්.

මම එංගලන්තෙට ඇවිත් මුලින්ම උගන්නන්

ගියපු පාසලේ ලෝක සිතියම පෙන්නලා මගේ හෙඩ් ටීචර් ළමයිට කිව්වා මෙන්න මේ ඉන්දියාවට පහල කදුලු බින්දුවක් වගේ තියන රට තමයි තීක්ෂණාගේ රට කියලා.

ඒ කදුලු බින්දුව මතක් වෙලා , ඒ කදුලු බින්දුව ඇතුලෙ නේද මගේ ජීවිතේ අක්මුල් නහර ඔක්කොම තියෙන්නේ කියලා මතක් වෙලා එදා මගේ ඇස් දෙකෙන් කදුලු කැට වැටුනා…!

අද අනුදි එයාගෙ කතාවෙදි කියනවා, මගේ රට සිතියමේ ඔයාලට හොයාගන්න වත් බැරි වෙයි ඒ තරම් පොඩියි කියලා.

ඔයාලා දන්නවද අදටත් මේ රටවල් වල ඉන්නවා ලංකාව කියලා රටක් මේ ලෝකෙ තියනවද කියලා වත් දන්නේ නැති මිනිස්සු. අපිත් ඉන්දියාවෙම කොහෙ හරි ප්‍රාන්තෙක වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්න මිනිස්සු. ලංකාව කියන්නේ ඉන්දියාවෙම කෑල්ලක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු.

මිස් වර්ල්ඩ් පේජ් එකට ගියාම ඇස් දෙකට කදුලු එන්න තරම් සතුටුයි, ලංකාවෙ කොඩියෙන් ඒ පේජ් එක බබලනවා. ඉතිං මේ බබලන්නේ ලෝකෙ සමහර මිනිස්සු තියනවද කියලාවත් නොදන්න ඒ රට.

තරගයක දිනුම පැරදුම කවදාවත් කලින් තීරණය කරන්න බෑ.

ඒත් Anudi නංගි,

ඔයා මේ රට දිනවලා ඉවරයි…! මේ රටේ මිනිස්සු දිනවලා ඉවරයි…! ඔයාගේ පස්සෙන් එන මේ රටේ පරම්පරා ගානක් දිනවලා ඉවරයි…!

අලි ගම්වදින, හේන් පැල් රකින, ඔසප් දාට ඇගලන්න සනීප ඇදුමක් පවා නැති ඈත ගම්වල දරුවො හෙට ඉදලා අලුතින් හීන දකින්න පුරුදු වෙයි.

ඉතිං , ඔයා තරගකාරිනියන්ට කිව්වා ඔයාලට තව දිනන්න දෙයක් නැ කියලා.

අපිටත් තව දිනන්න දෙයක් නැ මැණික….රටක් විදියට ඔයා අපිවත් දිනවලා ඉවරයි….🇱🇰❤️✌️

Words – Theekshana Manaroo

Facebook
Twitter
LinkedIn