ඇරඹී තිබෙන නව දේශපාලන සංස්කෘතියට අභියෝග කිරීමට විපක්ෂයේ කිසිවෙකුටත් හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 27 වනදා බේරුවලදී පැවති පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ “ජය නියතයි – ගම අපටයි” ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,
“ලබන මාසෙ 06වැනිදා අපේ රටට තුන්වැනි ජයග්‍රහණය ගේන දවසයි. පසුගිය ජනාධිපතිවරණයේදී පැරණි, ප්‍රභූ දේශපාලනය පැත්තක තියලා අපේම ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා. මහ මැතිවරණයෙන් ඊටත් වඩා ශක්තියකින් පාර්ලිමේන්තුවට 159ක මන්ත්‍රී සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවක් හැදුවා. ඒ දෙවැනි ජයග්‍රහණයයි. ඉදිරි මැයි 06 වැනිදා රට පුරා තිබෙන පළාත් පාලන ආයතන සියල්ලම මාලිමාව ජයග්‍රහණය කරලා පිට පිට ලබන තුන්වැනි ජයග්‍රහණය වාර්තා කරන්න අපි ලැහැස්තියි. මෙතන රැස්වී සිටින ජනතාවගෙන් පෙන්නුම් කරන්නේ මාලිමාවේ ශක්තිය, ජනතාවගේ විශ්වාසය දිනපතාම වැඩිවෙමින් තිබෙනවා කියන එකයි. විපක්ෂය දැන් බිඳ වැටිලා. පොඩි පොඩි කල්ලි හැදිලා, එක්කෙනෙක් දෙන්නෙක් වොයිස්කට් දෙමින් ඉන්නවා. ඒ ගොල්ලන් වඳවෙමින් යන සත්ව කොට්ඨාසයක් බවට පත්වෙලා. ලබන මැතිවරණයෙන් පසුව එයාලා රතු දත්ත පොතට එකතු වේවි. දේශපාලනය කියන්නේ පරණ ක්‍රමයම බවයි ඒ ගොල්ලන් හිතාගෙන ඉන්නේ. බොරු කියන එක, අවලාද නගන එක, අපහාස කරන එක දේශපාලනය කියලා එයාලා හිතාගෙන ඉන්නවා.
පසුගිය ජනාධිපතිවරණයත් එක්ක රටත් වෙනස් කළා. රටේ ජනතාව වෙනස් වෙලා තිබෙන්නේ. රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒකට අභියෝග කරන්න විපක්ෂයේ කාට හෝ බැහැ. එක වරෙක අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදි කිවුවා, ඒ ගොල්ලන්ට “අපිව පරද්දන්න ඕනෑ නම්, අපට වඩා ශිෂ්ට සම්පන්න ව්‍යාපාරයක් හදන්න” කියලා. එයාලට ශිෂ්ට වෙන්න බෑ මයි. එයාලා යන්නේම අශිෂ්ටත්වයට, ම්ලේච්ඡත්වයට. කිසිදු දවසක ආණ්ඩුවට ලැබෙන්නෙ නැති නගර සභාවක් බේරුවල නගර සභාව කියන්නේ. ඉතිහාසයේ පළමු වැනි වතාවට, එය දිනන බවට අපේ මුස්ලිම් සහෝදරවරු සහතික වෙලා තිබෙනවා. බේරුවල නගර සභාව ඇතුළු සියලුම සභා මාලිමාව දිනවනවා කියන විශ්වාසය අපට තිබෙනවා. අපි ජනාධිපතිවරණය දිනුවා 50%කින්. මාස දෙකකට පස්සේ මහ මැතිවරණය දිනුවා 60%කට වඩා වැඩි ප්‍රමාණයකින්. පළාත් පාලන මැතිවරණය 70% පැනපු දැවැන්ත ජයග්‍රහණයකින් ඔප්පු කරන්න ඕනෑ රට ඉන්නේ මාලිමාවත් එක්ක කියලා. මීට මාස හයකට ප්‍රථම ප්‍රතික්ෂේප කරපු අයව නැවත ගේන්න ඕනෑ නැහැ. රටෙන් හොරු එළවලා තිබෙන්නේ. ගමෙන් හොරු එලවන්න ඕනෑ. හොරු ටික නැවත වෙස්වලාගෙන, පාට මාරු කරගෙන, පක්ෂ මාරු කරගෙන එනවා. මේ එන්නේ ඉස්සර සභාවෙන් හොරකම් කරපු, කොමිස් ගහපු අයම තමයි.
ඔබ, අපි වංචා, දූෂණ නැති අලුත් දේශපාලන සංස්කෘතියක් හදා තිබෙනවා. මහජන මුදල් නාස්ති කරන්නේ නැති, ජනතාවට ඉහළින් වැජඹෙන්නේ නැති, සරල ලෙස ජීවත් වෙන ආණ්ඩුකරණයක් අපි හදා තිබෙනවා. ජනතාවට සහන දෙන්න පටන්ගෙන තිබෙනවා. හොරකම, පගා ගැහිලි නතර කර තිබෙනවා. හොරු අල්ලන්න පටන්ගෙන තිබෙනවා. රට කිසියම් දිශාවකට ගමන් කරමින් තිබෙනවා. අන්න ඒ පැත්තට අපි ගමත් අරගෙන යන්න ඕනෑ. ඒ වැඩේට අපි එකඟයි කියන සහතිකය දෙන්න ඕනෑ. මේක පුංචි ඡන්දයක් නොවෙයි. පළාත් පාලන ආයතනවල විෂය පථය සීමාවක් තිබෙනවා. ගමේ පාර හදන එක, බෝක්කුව හදන එක, මොන්ටිසෝරි හදාගන්න එක පොඩි පොඩි වැඩ ටිකක් තිබෙනවා. ඒ අතරතුර ඊට වඩා එහාට යන ගමනක් තිබෙනවා. අපි රටෙන් පටන් ගත්ත දේශපාලන සංස්කෘතිය ගම දක්වා ගේන්න ඕනෑ. ගමටත් හදමු වංචා, දූෂණ නැති ගමේ ආණ්ඩුවක්. මහජන මුදල් සාංඝික දේපළ වගේ රකින, නාස්ති කරන්නේ නැති පාලනයක්, ආණ්ඩුවක් ගමටත් හදමු. ගමටත්, නගරෙටත් කොමිස් ගහන්නේ නැති, හොරකම් කරන්නේ නැති, වංචා-දූෂණ නැති පාලනයක් හදමු. අපි රටට හදලා තියෙනවා, වරප්‍රසාද ලබන්නේ නැති, ස්වේච්ඡාවෙන් වැඩකරන දේශපාලන සංස්කෘතියක්. ගමටත් හදන්න ඕනෑ, මහජන මුදල් නාස්ති කරන්නේ නැති, වරප්‍රසාද ගන්නේ නැති පාලනයක්. රටේ ආරම්භ කරපු වෙනස ගමට ගෙනියන්න ඕනෑ. ඒ සඳහා මේ සභා සියල්ල මාලිමාව දිනවන්න ඕනෑ. මේ සභා පවත්වන්නේ යාළුකම්වලට, ගමේකමට, අපේකමට, සල්ලිවලට සලකන්න නොවෙයි. උදව්වක් කළා නම් උදව්වක් කරන්න. අපි මේ රටේ ආරම්භ කළ ගමනක් තිබෙනවා. උඩ සිට පහළට එක පිම්මට ඒ ගමන යන්න ඕනෑ. ඒ නිසයි මේ ඡන්දය අපි දිනන්න ඕනෑ වෙන්නේ. විපක්ෂය හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒගොල්ලන් කියන දේ එයාලම දන්නේ නැහැ. එයාලා මාසෙන් මාසෙට ජනාධිපතිලා පත්කරනවා. තව අවුරුදු පහකට රටේ ජනාධිපති අනුර සහෝදරයා. අවුරුදු පහෙන් පස්සෙත් රටේ නායකයා අනුර සහෝදරයා. මේක කල්පෙකට හොල්ලන්න බැරි ආණ්ඩුවක්.
ඒගොල්ලන් දුකෙන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ස්වර්ගය අහිමි වෙලා. දෙව්ලොවෙන් බිමට වැටිලා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් අපි හදා තිබෙනවා. වංචාවෙන් දූෂණයෙන් ජීවත් වුණු අයට අපේ ආණ්ඩු හරියන්නේ නැහැ. හොරකම් කරන්නේ නැති, පගා ගහන්නේ නැති, වරප්‍රසාද ගන්නේ නැති, ජනතාව වෙනුවෙන් කැපවී වැඩකරන ආණ්ඩුවක් අපි හදා තිබෙනවා. රාජ්‍ය බලය පාවිච්චි කරපු, වරප්‍රසාද භුක්ති විඳි අයට ඒක නැතුව බැහැ. ඒ නිසා උඩින් ගන්න බැරි බලය බිමින් හරි ගන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ කිවුවා, එයාලා වෙන වෙනම ඡන්දෙ ඉල්ලුවාට ඡන්දෙන් පස්සේ එකතු වෙලා සභා පිහිටු වනවාලු. මාලිමාව පරද්දන්න හදන්නේ ඇයි? අපි මේ රට පාවා දීලා නැහැ. මහජන මුදල් නාස්ති කරලා නැහැ. සම්පත් විකිණීම නවත්වා තිබෙනවා. ජනතාවට එරෙහිව බලය පාවිච්චි කරලා නැහැ. ජාතිවාදය පාවිච්චි කරලා මුස්ලිම් ජනතාවගේ කඩ සාප්පු ගිනි තියලා නැහැ. ඉතිහාසයේ පළමු වතාවට ජාතික සමගිය තිබෙන ආණ්ඩුවක් හදා තිබෙනවා. ඒකාලේ ජාතිවාදය පතුරලා ගැටුම් ඇති කළා. නැවත ජාතිවාදය ඇති නොවෙන සමගියෙන් ජීවත් වෙන්න රටක් හදා තිබෙනවා. මේ සමගියටත් පරාද වුණු අය බයයි. මහනුවර ශ්‍රී දළදා දැක්ම තිබුණා. එතනදි මහනුවර පල්ලි, දේවස්ථාන සියල්ලම දළදා වැඳපුදා ගන්න ආපු ජනතාවට නවතින්න, නිදාගන්න පහසුකම්, කන්න බොන්න දුන්නා. ඒක තමයි ජාතික සමගිය. අපට එහෙම ආණ්ඩුවක් ඕනෑ. එහෙම ආණ්ඩුව රකින බව පෙන්නන දවස තමයි මැයි 06දා. මේ පටන් ගත්ත දේවල් ආපසු හරවන්න දෙන්න එපා.
එයාලට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ. දේශපාලනය දන්නේ නැහැ. අපි දේශපාලන දැනගෙන පිළිවෙළට වැඩ කරගෙන යනවා. එයාලට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ. වෙනස් වෙන්න බැරි නම් රතු දත්ත පොතෙන් තමයි නතර වෙන්නේ. අපි ජනතාවට වුණු පොරොන්දු ඉටුකර තිබෙනවා. ඉටුකරගෙන යමින් තිබෙනවා. අපි මැතිවරණ කාලයේදි ජනතාවට කිවුවා, වංචා – දූෂණ නැති පාලනයක් හදනවා කියලා. අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් වංචා දූෂණ නැති ආණ්ඩුවක් අපි හදලා තියෙනවා කියලා. ලෝකේ රටවල් අපිට ගරු කරනවා, වංචා-දූෂණ නැහැ, ඇමතිවරු පගා ඉල්ලන්නේ නැහැ කියලා. ඔබේ ඡන්දෙට වටිනාකමක් තිබෙනවා. වෙනදා ඡන්දෙ දීලා, මන්ත්‍රීවරු, ඇමතිවරු හොරකම් කරන කොට ඡන්දෙ දීපු කෙනාට ලැජ්ජාවක් හිතෙනවා. මාලිමාවට ඡන්දෙ දුන් අයට ආඩම්බරයක් එනවා මන්ත්‍රීවරු, ඇමතිවරු මහජන මුදල්වලට අත තියන අය නොවෙන නිසා. ඔබේ ඡන්දෙට ඇත්ත වටිනාකම ලබාදුන් එකම පක්ෂය තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව. ඒක අපි රකින්න ඕනෑ.
ඔබට අපි පොරොන්දු වුණු අලුත් දේශපාලන සංස්කෘතියක් ගේනවා කියලා. අපි ඒක ඉටුකරමින් යන්නේ. අපිට සරල ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඇමති මණ්ඩලය 25ට අඩුවෙන් හදනවා කිවුවා. අපි හැදුවා අමාත්‍යාංශ 22යි. ඇමතිවරු 21යි. මහින්ද ජනාධිපතිගෙ කාලේ පොල් ඇමති හිටියා. තල් ඇමති හිටියා, කිතුල් ඇමති හිටියා, සීනි ඇමති හිටියා, මැටි ඇමති හිටියා. අපි ඒ විකාර කර නැහැ. අපි කිවුවා මන්ත්‍රීවරුන්ට වාහන පෝර්මිට් නැහැ. කාර් පර්මිට් අහෝසි කරනවා කියලා. ඒක අපි කළා. කිව්ව දේ ඉටු කළ එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය විතරයි. හොරු ඇල්ලුවාද කියලා ප්‍රශ්නයක් තිබුණා. පොඩි ප්‍රමාදයක් තිබුණා. හේතුව ඒ ආයතන ඒකට සූදානම් වෙන්න ඕනෑ. හොරු අල්ලන්න අපට බැහැ. ඒකට අල්ලස් හා දූෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව ඒ අය තමයි ඒ වැඩේ කරන්නේ. දැන් වැඩේ කෙරෙමින් තිබෙනවා. නාමල් රාජපක්ෂට මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. යෝෂිත රාජපක්ෂට අධිචෝදනා පත්‍ර බාරදී තිබෙනවා. ඩේසි ආච්චිට නඩු පවරා තිබෙනවා. චාමර සම්පත් ඇතුලෙ ඉන්නවා, ඔහුට විරුද්ධව චෝදනා තුනක් තිබෙනවා. පොදු දේපළ යටතේ මහජන මුදල් හොරකම් කරලා, වංචා කරලා, රිමාන්ඩ් එකේ. මර්වින් සිල්වා මහත්තයාට රජයේ ඉඩම් හොර ඔප්පු හදලා විකුණලා. දැන් රිමාන්ඩ් එකේ. හිටපු ඇමති, ප්‍රසන්න රණවීර දැන් පොලීසියට බයේ හැංගිලා. උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති, මහජන මුදල් වංචා කරලා තීන්දුව දුන්නා වසර 16කට නෑනත් සමග හිරේ. අපි අවධාරණයෙන් කියනවා අපේ රටේ අපරාධ කළ කිසිවෙකුට ගැලවීමක් නැහැ. ඒ හැමෝටම අනිවාර්යයෙන් නීතිය ඉදිරියට එන්න වෙනවා මයි.
අපි ජනතාවට බොරු කියලා නැහැ. කරන්ඩ බැරි කිසිවක් අපි කියන්නේ නැහැ. යමක් පොරොන්දු වුණොත් අපි නොකර ඉන්නෙත් නැහැ. එහෙම පුංචි ආණ්ඩුවත් අපි හදන්න ඕනෑ. මේ ප්‍රාදේශීය සභාවේ හොරු එලවන්න ඕනෑ. කොන්ත්‍රාත්වලින් කොමිස් ගහන එක නතර කරන්න ඕනෑ. මහජන මුදල් ටික රැකලා, මේ බිම්වලට සේවා ලබාදෙන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. ඒකට බාධා කරන්න ඔය ඇවිත් ඉන්නේ. ඔබට ලොකු කාර්යභාරයක් තිබෙනවා. අපි රටේ ජනාධිපති ලෙස මාලිමාවෙන් අනුර සහෝදරයා පත්කර ගත්තා වගේම, මාලිමාවේ ලොකු ආණ්ඩුවක් හදලා රටට බාර දුන්නා වගේම, ගමේ පුංචි ආණ්ඩු ටිකත් මාලිමාවට බාර දෙන්න ඕනෑ. අපි ජනතාවට විශාල සහන දී තිබෙනවා. ලංකාවේ මෙතෙක් තිබුණු ආණ්ඩුවලින් වැඩිම ජාත්‍යන්තර සහයෝගය තිබෙන්නේ මාලිමාවේ ආණ්ඩුවට. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා, මහ මැතිවරණය ජයග්‍රහණය කරලා පටන් ගත්ත දේශපාලන ගමන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමේ ගමන ඉස්සරහට යා යුතුව තිබෙනවා. ඊළඟ තබන යෝධ පියවර හැටියට මේ ඡන්දයෙන් සියලුම පළාත් පාලන ආයතන මාලිමාව අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් මේ සතිය තුළ ගෙවල්වලට යන්න. මාලිමාවට ඡන්දයක් නොදෙන්න තීරණය කළ අයටත් කතා කරන්න. මේක අපේ ආණ්ඩුව, ජනතාවගේ ආණ්ඩුව කිසිම හොරෙකුට වට්ටන්න දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව අපි දිවි හිමියෙන් රකින්න ලැහැස්තියි. ලබන මාසෙ 06 දා හැමෝම එකතු කරගෙන ඡන්ද පොළට ගිහිල්ලා මාලිමාවට කතිරෙ ගහමු. අපි හැමදෙනාම එකතු වෙලා වැඩ කරමු. ගමත් මාලිමාවට ගනිමු. ජය නියතයි.”

















