මහව - ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතින් අද (06) සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් ඉන්දියානු අගමැති මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටී.
එම සංචාරයේ තවත් වැදගත් කටයුත්තක් සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති මෙම විවෘත කිරීම්වලට එක් විය.
සමරු ඵලකය නිරාවරණය කර දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය විවෘත කිරීම සහ දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීම මෙහිදී ජනාධිපති සහ ඉන්දීය අගමැති අතින් සිදු කෙරිණි.
ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව - ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 91.27කි.
එමෙන්ම ඇ.ඩො.මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව - අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි විය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.















160










