මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේය.
උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අගමැති අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, ශ්‍රී ලංකා ජනාධිපති සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අගමැති සඳහන් කළේය.
බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනය පරිදි ඉන්දීයානු අග්‍රාමාත්‍යවරයා මෙරට රාජ්‍ය සංචාරයකට එක්ව සිටී.
අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අගමැති වෙත සිය ආශිර්වාදය පළ කළහ.
අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.
මේ අතර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අගමැති අතින් සිදු කෙරිණි.
රුවන්වැලි සෑය චෛත්‍ය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලාද, විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







181










