ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දියානු ජනතාවට ලැබුණු සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිට, ශ්‍රී ලංකා රජයට හා ජනතාවට තම ආචාරය පුද කරන බවත් ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි පැවසීය.
ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීය.
භාරතය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතාවයක් සහ ගැඹුරු මිත්‍රත්වයක් ඇති බවත්, 2019 වසරේදී ගියවර සිදුවූ සංචාරය අතිශය සංවේදී කාලයක සිදුවූ බවත් පෙන්වා දුන් අගමැති, අගමැති ලෙස මෙය තමාගේ 04 වන ශ්‍රී ලංකා සංචාරය බවද සිහිපත් කළේය.
ජනතාවගේ නිර්භීතභාවය හා ධෛර්යය පිළිබඳව තමා දැන සිටි හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව යළි ගොඩනැඟෙනු ඇතැයි කියා තමා විශ්වාස කළ බවත් එහිදී ඉන්දියානු අගමැත් පැවසීය. ශ්‍රී ලංකාව නැවත ප්‍රගතියේ මාවතට ප්‍රවිශ්ට වී සිටිනු දැක තමා සතුටට පත්වන බවද ශ්‍රී නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේය.
භාරතයට සාඩම්බරයට කාරණයක් වනුයේ ගෞරවාන්විත මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් ඉටු කළ යුතු යුතුකම ඉටු කිරීමට හැකි වීම බවද, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හ පසුව පැමිණි ආර්ථික අර්බුදය යන සියලු අවස්ථාවන්හි තම රජය ශ්‍රී ලංකා ජනතාව සමඟ එකට එක්ව සිට කටයුතු කළ බවද ඉන්දියානු අගමැත් සඳහන් කළේය.
‘තිරුවලුවර්' නම් කවියාගේ වදනක් උපුටා දක්වමින් ශ්‍රී නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නේ සත්‍ය මිතුරෙකු සහ ඔහුගේ මිත්‍රත්වයට වඩා වෙනත් සුරක්ෂාවක් නොමැති බවයි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුගේ පළමූ විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ පිළිබිඹුවක් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පළමු විදෙස් මිතුරා වන්නට තමන්ට අවස්ථාව ලැබුණු බවත් ඉන්දියානු අගමැති ප්‍රකාශ කළේය.
භාරතයේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය තුළ හා මහාසාගර් දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවත් පැවසූ අගමැති මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරයෙන් පසු පසුගිය මාස 04ක කාලය තුළ දෙරට අතර සහයෝගිතාවයේ ඉහළ ප්‍රගතියක් ඇතිවූ බවද පැවසීය.
සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතියේ සිට ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම දක්වා දෙදෙරට අතර ඇතිවූ සහයෝගිතාවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට ලැබෙනු ඇතැයිද ඉන්දියානු අගමැත් කියා සිටියේය.
අධිවෝල්ටීය ජාල සබඳතාව පිළිබඳ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට අවස්ථාවක් උදාවනු ඇති බවද, ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය පැනල 5000ක් ස්ථාපනය කිරීමට ලැබීම මහත් සතුටක් බවද අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි පැවසීය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියටද ඉන්දියාවේ සහාය ලබාදෙන බවත් ජනතාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.4ක ප්‍රදානයක් ලබාදීමට තමා කටයුතු කළ බවත් පැවසූ ඉන්දියානු අගමැති, ගොවීන්ගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම කෘෂි ගබඩා සංකීර්ණය ඉදිකිරීමට ඉන්දියානු රජය සහාය ලබා දුන් බවද පෙන්වා දුන්නේය.
හෙට දිනයේදී තමා නවීකරණය කළ මහව - ඕමන්ත දුම්රිය මාර්ගය මෙන්ම මහව - අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමට සහභාගි වන බවද, ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දමිළ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමට සහ ශ්‍රී ලංකාවේ විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන යොවුන් නායකයන් 700කට යහපාලන පුහුණු වැඩසටහන් සඳහා ඉන්දීය රජයේ සහාය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
භාරතයේ (සබ්බා සාත් - සබ්බා විකාස්) දැක්ම අනුව, තමන් අසල්වැසි දේශයන්වල ප්‍රගතියට සහාය ලබාදෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර ඇති බවත් පැවසූ ඉන්දියානු අගමැති, එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහායක් සහ මාර්ගයක් ලැබෙනු ඇති බවද ප්‍රකාශ කළේය.
භාරතය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක ආධ්‍යාත්මික සහ ආත්මීය සබඳතාවයක් ඇති බව ද, එය තහවුරු කරමින් 1960දී ගුජ්රාත්වලින් හමුවූ බුදුන් වහන්සේගේ ධාතු බැතුමතුන්ට වැඳපුදා ගැනීමට සැලැස්වීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කරන බවද ඉන්දීය අගමැත් පැවසීය.
එසේම ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම්, අනුරාධපුර පූජනීය නගරය, සීතාඑළිය කෝවිල යන ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ඉන්දියාවේ සහාය ලබා දෙන බව අගමැත් ශ්‍රී නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර ඉහළ රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයට සිය ස්තුතිය පුද කර සිටින බවද ශ්‍රී නරේන්ද්‍ර මෝදි අගමරති වැඩිදුරටත් පැවසීය.


140










