අගමැති මෝදි වෙනුවෙන් ජනපති අනුර⁣ගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

අගමැති මෝදි වෙනුවෙන් ජනපති අනුර⁣ගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ජනාධිපති විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අගමැත්ව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ඉන්දියානු අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපි ආගන්තුක සත්කාරයට ඉතාමත් කැමති පිරිසක් වන අතරම අපි සියලු අමුත්තන් උණුසුම් ලෙස වැලඳ ගන්නවා. ඒ අතරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් අපගේ හදවතේ උණුසුම්ම තැනින් වැලඳ ගන්නා බව මම සිහිපත් කරනවා.

කුඩා නමුත් උණුසුම් හදවත් ඇති මිනිසුන් පිරුණු මෙම ආශ්චර්යමත් දිවයින වෙත ඔබේ රටේ ජනතාව නැවත නැවතත් පැමිණෙනු දැකීම අපගේ අපේක්ෂාවයි. අපි සෑමවිටම අපගේ මිතුරන්ට කියන දෙයක් තමයි, “නැවත එන්න” කියලා. අපගේ හදවත් ඔබව සාදරයෙන් පිළිගැනීමට සූදානම්.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ යහපත් සෞඛ්‍යය, ඉන්දීය ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය, අපගේ රටවල් දෙක අතර නිරන්තරයෙන් වර්ධනය වන සහයෝගීතාව සහ මිත්‍රත්වය යන මේ උදාර අපේක්ෂාවන් වෙනුවෙන් අපි එකම අරමුණකින් උණුසුම් හදවතින් ආශිර්වාද කරමු”

අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමත් විජිත හේරත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කැබිනට් ඇමත්වරුන්ද, ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්