ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා දෙනවා… ඔරකල් සමාගමේ විධායක උප සභාපති ජනපති අනුරට කියයි…

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා දෙනවා… ඔරකල් සමාගමේ විධායක උප සභාපති ජනපති අනුරට කියයි…

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත කැමැත්ත පළ කර තිබේ.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊයේ (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා සමඟ පැවති සාකච්ඡාවේදීය.

ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත.

එහිදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කර තිබේ. මේ අතර දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික කරමින් රජයේ යෙදුම්, විද්‍යුත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක් ස්ථාපිත කිරීමටත් ජනාධිපති ඔරකල් සමාගමට ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකාව මුදල් පරිහරණය රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් සඳහා මුලපිරීම පිළිබඳවද ජනාධිපති සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා අතර සාකච්ඡා වී තිබේ. මේ සඳහා කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපති ආරාධනා කර ඇති අතර එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධි‍ය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ඇත. ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට එවන මෙන් ජනපති අනුර කුමාර දිසානායක මයික් සිසිලියාගෙන් ඉල්ලා තිබේ.

කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් එහි දකුණු ආසියානු කෘත්‍රිම බුද්ධිය (AI) සහ වලාකුළු (Cloud) මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම දැඩි උනන්දුවක් පළ කරන බව එහි විධායක උප සභාපති පසා ඇත. මෙය උපායමාර්ගික පියවරක් ලෙස ශ්‍රී ලංකාවට කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වලාකුළු පහසුකමෙහි (AI driven Cloud Solutions) කලාපීය ප්‍රමුඛයෙකු වීමට අවස්ථාව සලසනු ඇත. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ අති නවීන තාක්‍ෂණ ආයෝජන සඳහා මෙය පිටිවහලක් වනු ඇත.

ඒ අනුව, මෙම සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර ඇත. ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ද මෙම සාකච්ඡාවට එක්ව සිටි ඇත.

Facebook
Twitter
LinkedIn