නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා ලංකා රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි…

නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා ලංකා රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි…

නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා ලංකා රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවීමටත් පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ අක්කර පහක භූමියක් යොදා ගැනීමටත් වෝහාරික ලිපිකරුවන් කාර්යක්ෂමව කාර්යයේ නිරත කිරීමට වරාය ආශ්‍රිත සේවාවන්හි නිරත වන පෞද්ගලික සමාගම් එකඟ වීමත් අද (12) සිදුව තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී ය.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති ජනාධිපති, වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙහිදී වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කරගෙන ඇත.

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින 07ම පැය 24ම රාජකාරි කිරීමට එකඟතාවය පල කර තිබේ.

පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත. ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කර තිබේ. ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වනවිට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වනවිට ලබා දීමටත් තීරණය වී ඇත.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ වී තිබේ.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වී ඇත. එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාළ නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපති උපදෙස් ලබා දී තිබේ.

මීට අදාල මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මෙහිදී ප්‍රකාශ කර ඇත.

ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික සංගම් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කර තිබේ. තවද මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවද විෂය භාර ඇමති බිමල් රත්නායක අවධාරණය කර ඇත.

ආහාර ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබා ගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බවද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ වී තිබේ.

වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සදහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් දක්වා අඩු කිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව ඇමති බිමල් රත්නායක මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මෙහිදී සදහන් කර ඇති අතර වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බවද සඳහන් කර තිබේ.
දැනට මාර්ගයේ නවතා ඇති බහාලුම් රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස සාකච්ඡාවට පැමිණ ඇති වරාය සේවා සපයන සංගම් විසින් ඉල්ලීමක් කර තිබේ.

කම්කරු ඇමති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල පෙරේරා, ශ්‍රී ලංකා රේගු නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමයේ නිලධාරීන්, බහාලුම්කරුවන්ගේ සංගමයේ නිලධාරීන්, බහාලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් ආනයන අපනයන නිෂ්කාශන නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn