2016 සිට 2020 දක්වා කාලය තුළ ළගම පාසල හොදම පාසල වැඩසටහනෙන් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති සමාලෝචනය කර අවසන් කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (07) පාර්ලීමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“අපි ඇත්ත වශයෙන්ම මේ මොහොතේ එම ව්‍යාපෘති යටතේ තෝරගත්ත පාසල්වල වැඩ පිළිබඳ සමාලෝචනයක් කරනවා. බොහෝ පාසල්වල එම ව්‍යාපෘති මග නැවතිලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ සියලුම පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් තුනක් ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලත්, එවැනි පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතීක පාසලක් වෙනුවෙන් සැලසුම් කරගෙන යනවා. අපි ආයිත් මේක මුල ඉඳන් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ දැනට අතරමග නැවතී ඇති යන ව්‍යාපෘති සහිත පාසල් තෝරගෙන ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා” යැයි පැවසුවාය.










