පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සදහන් කරන්නේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය පසුගිය දෙසැම්බර් මස 06 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එමෙන්ම ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන ලද අපේක්ෂකයින් 690 දෙනාගෙන් 493 දෙනෙකු පමණක් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 527 දෙනාගෙන් 434 දෙනෙකු පමණක් මෙම ආදායම් වියදම් වාර්තා බාරදී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවද මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.










