මේ දිනවල සහල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් භීතියක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස ගෙන යන ප්‍රචාර පදනමක් නැති අතිශෝක්ති පමණක් බව මහබැංකු වාර්තාවලින් අනාවරණය වේ.
පසුගිය වසරේ (2023) දෙසැම්බර් මාසය වෙනුවෙන් එම බැංකුව නිකුත් කළ “මාසික ආර්ථික දර්ශක” වාර්තාවෙන් හෙළි වී තිබෙන්නේ සම්බා සහල් කිලෝග්‍රෑමයක සිල්ලර මිලෙහි සාමාන්‍ය රුපියල් 247.69ක් වූ බව ය. එය මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට රුපියල් 240.00ක් දක්වා පහත වැටී තිබිණි.
මේ අතර, එම වාර්තාවලට අනුව 2023 දෙසැම්බර් මස නාඩු සහල් කිලෝග්‍රැමයක සිල්ලර මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 220.00ක් වී තිබූ අතර, පසුගිය මස අවසන් වනවිට එම මිල රුපියල් 235.00දක්වා ඉහළ ගොස් තිබිණි. මෙයින් පැහැදිලි වන්නේ වසර අවසානයේ මාස දෙක තුළ මෙරට වෙළඳපොලේ සහල් මිල ගණන් වසරේ සෙසු මාසවලට සාපේක්ෂව ඉහළ යන බව ය.
සෑම වසරකදීම වර්ෂාවසානයේදී සහ අප්‍රේල් උත්සව සමයේදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍ය තත්වයකි. නමුත් එය පවා යථා තත්වයට පත් කිරීමට වර්තමාන ආණ්ඩුව මේ වනවිටත් සැලසුම් සකස් කර මූලික ක්‍රියාමාර්ගවලට එළඹී සිටින බව ගෙවී ගිය මාස දෙක තුළ ඍණ උද්ධමනයක් වාර්තා වීමෙන් තහවුරු වී තිබේ.












