BRICS වාර්ෂික සමුළුව අමතා ව්ලැඩිමීර් පුටින් ලෝකයට නව නායකත්වයක් ඉල්ලා සිටී!

BRICS වාර්ෂික සමුළුව අමතා ව්ලැඩිමීර් පුටින් ලෝකයට නව නායකත්වයක් ඉල්ලා සිටී!

මේ වනවිට යුක්රේන-රුසියානු යුද්ධය හේතුවෙන් බටහිර ලෝකයේ දැඩි විවේචනයට ලක්ව සිටින රුසියානු ජනාධිපති වරයා ජාත්‍යන්තරය තුළ නව බලයක් නිර්මාණය කර ගනිමින් වාර්ෂික 16 වෙනි BRICS සමුළුව ආරම්හ කරනු ලැබුවේ ඩොලරයට එරෙහිව නව මුල්‍ය ඒකකයක් හඳුන්වා දිය යුතු බවට යලි යලිත් අවධාරණය කරමිනි. බටහිර “ආධිපත්‍යය” සමඟ තරඟ කිරීම සඳහා ගොඩ නගන ලද රටවල සන්ධානයක් වන වාර්ෂික BRICS සමුළුව සඳහා මෙම ඔක්තෝබර් 22 අඟහරුවාදා විදේශීය නායකයන් 22ක්, මිත්‍ර පාක්ෂික රටවල් 30ක නියෝජිතයින් සහභාගී වී සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

මෙම මස ඔක්තෝම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා රුසියාවේ කසාන්හි පැවැත්වෙන බ්‍රික්ස් සමුලුව මුළු දෙන්නේ ක්‍රේම්ලන් පාලනය විසින් යුක්‍රේනයේ දැවැන්ත භූමියක් අත්පත් කර ගනිමින් හා එක්සත් ජනපදයේ විශාලතම විරුද්ධවාදීන් වන චීනය, ඉරානය සහ උතුරු කොරියාව සමඟ සමීප සන්ධාන ඇති කර ගනිමින් සිටින පසුබිමකය. 2022 පෙබරවාරියේ යුක්‍රේනයට එරෙහි සිදු කල ප්‍රහාරයෙන් පසුව බටහිර විසින් ව්ලැඩිමීර් පුටින් හා රුසියාව හුදකලා කිරීමේ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය පෙන්නුම් කරමින් “රුසියාවේ මෙතෙක් සංවිධානය කර ඇති වැදගත්ම රාජ්‍යතාන්ත්‍රික සිදුවීම” සංවිධානය කිරීම ගැන ක්‍රෙම්ලිනය ආඩම්බර වන බව එරට විදේශ මාධ්‍ය ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේය.

සමුළුව පැවැත්වෙන මේ මොහතේ වොල්ගා ඉවුරේ පිහිටි කසාන් නගරය නිතර යුක්රේන ද්‍රෝන ප්‍රහාරවලට ලක්වීම නිසා එහි ආරක්ෂක විධිවිධාන විශාල වශයෙන් වැඩි කර ඇත. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනුයේ නිවෙස් තුළ රැඳී සිටින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටින අතර කලාපය පුරා ආරක්ෂාව තර කර ඇත. ව්ලැඩිමීර් පුටින් අඟහරුවාදා සිට රටට පැමිණ සිටන රටවල නායකයින් සමග ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රැස්වීම් පහළොවක පමණ හමුවීම් සංවිධාන කර ඇත. විශේෂයෙන් රුසියාව විසින් ආසියාව දෙසට ඉලක්ක කරමින් සිදු කරමින් සිටින මූලෝපායික වැදගත්කම සංකේතවත් කරමින් සමුළුවේ පළමු දිනයේදීම චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සුභාෂිංශණ හුවමාරු සිදු කර ගෙන ඇත.

වර්තමානය වන විට අවුල් සහගත” වී ඇති ජාත්‍යන්තර තලය තුළ චීනය සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිය චීන ජනාධිපති ෂී ජින් පිංගේ ඇගයීමට ලක් වී ඇත. BRICS සමුළුවට සමගාමීව පැවති පුටීන් සමග පැවති හමුවේදී ෂී ජින්පින් මෙසේ ප්‍රකාශ කළේය:

“ලෝකය සියවසක කාලයක සිට පෙර නොවූ විරූ දැවැන්ත වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී. ජාත්‍යන්තර තත්වය අවුල් සහගත හා සංකීර්ණය, නමුත් පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන චීනය සහ රුසියාව එක්සත් කරමින් පවතින ගැඹුරු මිත්‍රත්වය වෙනස් නොවන බව මම තරයේ විශ්වාස කරමි”. යයි පවසා සිටියේය.

බීජිං සහ මොස්කව් අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයේ දීර්ඝ ඉතිහාසය ද ෂී ජින්පින් යලි පෙන්වා දුන් අතර, විවිධ උපායමාර්ගික ක්ෂේත්‍රවල මෙම සබඳතාව තවදුරටත් ගැඹුරු හා සක්‍රීය වන බව අවධාරණය කළේය. දෙරට අතර සබඳතා “ඔවුන්ගේ ජනතාවගේ යහපැවැත්මට සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට දායක වී ඇති” බව ඔහු විශේෂයෙන් අවධාරනය කළේය.

රුසියානු-යුක්රේන ගැටුම සම්බන්ධයෙන්, ෂී ජින්පින් විසින්, යුක්රේනය ඇතුළුව සියලුම රටවල භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අවධාරණය කරනුයේ ඒ ඔස්සේ සාම සාකච්ඡා ආරම්හ කලයුතු බවත් සහ ගැටුමට එක් වී ඇති දෙපාර්ශවය අතර ගරු කිරීම අත්‍යවශ්‍ය බව යන්න චීන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවටද සඳහන් කරමිනි. කෙසේ වෙතත්, 2022 දී ආරම්භ වූ යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බෙයිජිං පාලනය කිසි විටෙකත් රුසියාව හෙළා දැක නොමැති අතර කලාපීය බලවතුන් දෙදෙනා අතර ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි සබඳතා එදින සිට වඩාත් ශක්තිමත් වීම පමණක් දක්නට ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද මෙම සමුළුවේදී යුක්රේනයේ සාමය කඩිනමින් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටියේය. ඉන්දියාවද රුසියානු ආක්‍රමණය හෙළා දැක නැතත්, සාමකාමී මාර්ගවලින් ගැටුම් නිරාකරණය කිරීමේ වැදගත්කම මෝදි තම හමුවේදී රුසියානු ජනාධිපති වරයාට අවධාරණය කළේය.

“ගැටුම් සාමකාමීව පමණක් විසඳා ගැනීම හොඳම පිළිවෙත බව අපි විශ්වාස කරමු. සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ ප්‍රයත්නයන්ට අපි පූර්ණ සහය ලබා දීමට සුදානම්,” ඉන්දීය නායකයා රුසියානු ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළේය.

රුසියාව සහ ඉන්දියාව අතර “උපායමාර්ගික හවුල්කාරිත්වය” රුසියානු ජනාධිපතිවරයා යළි පිළිගත්තේය. “රුසියානු-ඉන්දියානු සබඳතා විශේෂයෙන් වරප්‍රසාද ලත් මූලෝපායික හවුල්කාරිත්වයක් වන අතර එය ක්‍රියාකාරීව වර්ධනය වෙමින් පවතීන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඉන්පසුව රුසියානු ජනාධිපතිවරයාව දීර්ඝ කාලීන “මිතුරෙකු” සහ “වටිනා සගයෙකු” ලෙස හඳුන්වමින් ඔහුගේ දකුණු අප්‍රිකානු ජනාධිපති CYRIL RAMAPHOSA පවසා සිටියේ මෙම සමුළුව තුළදී වෙළඳාම, පාරිසරික ගැටළු, සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්චා කිරීමට අපේක්ෂා කරන බවයි.

ව්ලැඩිමීර් පුටින් විසින් රුසියාව හා දකුණු අප්‍රිකාව අතර සම්බන්ධතා පුළුල් මුලෝපායික හවුල් කාරිත්වය, සමානාත්මතාවය සහ අනොන්‍ය ගෞරවය යන මුලධර්ම මත පදනම්ව දීර්ඝ කාලීනව සිදු වෙමින් පවතින බවත් දෙරට අතර ඇති සමීපත්වය යලි තහවුරු කළේය: “රුසියාව සහ දකුණු අප්‍රිකාව සාධාරණ බහු ධ්‍රැවීය ලෝක පිළිවෙලක් නිර්මාණය කිරීම අරමුණ ඇතිව ජාත්‍යන්තර දර්ශනය මත ඔවුන්ගේ උත්සාහයන් ත්‍රීව කරනු ඇති බවත් ඒ සඳහා රුසියාව අප්‍රිකානු මහාද්වීපයේ රටවල් සමඟ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීම සඳහා විශේෂ වැදගත්කමක් ලෙස සලකනු ලබන බව පුටීන් තව දුරටත් පවසා සිටියේය.

සෞඛ්‍ය හේතුන් මත බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silvaද සමුළුවට සහභාගී නොවුනත් වීඩියෝ සම්මන්ත්‍රණයකින් සමුළුව අමතනු ඇත.

ඉන් පසුව රුසියානු රාජ්‍ය නායකයා බදාදා නේටෝ සාමාජිකයෙකු වන තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් හා ඉරාන ජනාධිපති මැසූඩ් පෙසෙෂ්කියන් හමු වීමට නියමිතය. කෙසේ වෙතත් සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු BRICS සමුළුවට සහභාගී නොවීම බටහිර මාධ්‍යවල දැඩි කතා බහට ලක් වී ඇත.

ඉන් පසුව ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමඟ සාකච්චා කර ඇත. මේ සම්බන්ධයෙන් බටහිර පුවත් පත් හා බටහිර නායකයින් ගුටරෙස්ගේ රුසියානු සංචාරය දැඩිව විවේචනය කරනුයේ යුක්රේන ආක්‍රමණය එක්සත් ජාතීන්ගේ පඥාප්තිය බරපතල ලෙස උල්ලඝණය කර ඇති බව දැන දැනත් පුටීන්ගේ ආරාධනාව මහා ලේකම් වරයා විසින් පිළිගැනීම ජාත්‍යන්තර සම්මුතීන් පාවා දීමක් බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන රුසියානු මාධ්‍ය පෙන්වා දෙනුයේ ඊශ්‍රාලය විසින් ගාසා තීරයේ සිදු කරන පලස්තීන සංහාරය ඉදිරියේ මුනි වත රකින බටහිර නායකයින් යුක්රේනයට අවි සපයමින් සාමය සෙවීමට උත්සහ කිරීම මගින් සමස්ත මානව වාදයම විහිළුවට ලක් කර ඇති බවයි.

මෙම සමුළුවේදී යුක්රේන ගැටුමට අමතරව, මැදපෙරදිග ආතතීන් උත්සන්න කිරීම පිළිබඳවත්, යුක්රේනයේ ආක්‍රමණයෙන් පසු රුසියානු බැංකු ජාත්‍යන්තර ගෙවීම් මුල්‍ය පද්දතියක් වන ස්විෆ්ට් (SWIFT) සමඟ තරඟ කිරීම සඳහා නව ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියක් නිර්මාණය කර ගැනීමටද සාකච්චා කිරීමට නියමිතය.

“බටහිර විසින් එල්ල කරනු ලබන ආර්ථික හා දේශපාලන පීඩනයට මුහුණ දීම සඳහා විකල්පයක් ඇති බවත් ඒ සඳහා බහු ධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය යථාර්ථයක්” බව තහවුරු කිරීම සඳහා BRICS සමුළුව අවසාන වන බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින්ද ඒ සම්බන්ධයෙන් දේශණයක් පැවැත්වීමට නියමිතය.

සාමාජිකයින් හතර දෙනෙකු සමඟ (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය) 2009 හි නිර්මාණය කල, BRICS කණ්ඩායමට 2010 දී දකුණු අප්‍රිකාවද එක් විය. මෙම සංවිධානයට මේ වසරේ රටවල් හතරක් එනම් (ඉතියෝපියාව, ඉරානය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය) එක් විය. එසේම BRICS සාමජික රටවල් අතර බැංකු පද්දතියක්ද නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30ක් පමණ BRICS සාමාජිකත්වය ඉල්ලා සිටි. ණය ආධාර ලබා ගැනීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුවට විකල්පයක් ලෙස BRICS විසින් පිහිටුවා ඇති නව මුල්‍ය ආයතන මගින් වඩා වාසි සහගත ලෙස ඒවා ලබා ගැනීම අරමුණු කර ගනිමින් අප්‍රිකානු හා ආසියානු රටවල් රාශියක් එහි සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරනු ලැබ ඇත. මැලේසියාව, අසර්බයිජානය, තායිලන්තය හා තුර්කිය මෙසේ තම සාමජිකත්වය ඉල්ලා ඇති තවත් රටවල් වේ.

මේ අතර ඊයේ නිකුත් කල මුල්‍ය අරමුදල් (IMF) වාර්තාව මගින් පෙන්වා දෙනුයේ රුසියාව 2024 වසර සඳහා 3.6%ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරනු ලබන බවයි. මෙම ආර්ථික වර්ධන වේගය රුසියාව ලබා ගැනීමට සමත් වී ඇත්තේ තම තෙල් හා ගෑස් අපනයනය මගින් වේ. ඉන්දියාව හා චීනය රුසියානු තෙල් හා ගෑස් 80%ක් මිලදී ගනිමින් ලෝක වෙළඳ පලට ලබාදෙනු ලැබේ. මෙම නව ආර්ථික වර්ධනයත් සමග රුසියානු ජනාධිපති පුටීන් විසින් තම ආරක්ෂක වියදම් 30%කින් වැඩි කර ඇත්තේ තෙල් හා ගෑස්‌ විකිණීමෙන් ලබා ගත් ඩොලර් බිලියන 130ක්ද ඒ සඳහා පොම්ප කරමින් තමන්ට සම්බාධක පැනවූ බටහිර පරාජය වී ඇති බවට BRICS සමුළුව ඇමතීමේදී දිගින් දිගටම පවසමිනි.

මෙම සමුළුව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ඇමරිකාවේ new york time පුවත්පත පවසා සිටින්නේ මෙය බටහිර විසින් කොන්කර හුදකලා කළ ව්ලැඩිමීර් පුටින් ලැබූ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බවයි. BRICS සමුළුව මෙසේ පැවතෙද්දී ඔක්තෝම්බර් 21 වැනි සඳුදා යුක්රේනයේ සංචාරයක් ආරම්හ කරමින් ඇමරිකානු ආරක්ෂක ඇමති ලොයිඩ් ඔස්ටින් පවසා සිටියේ යුක්රේනයට ඩොලර් මිලියන 400 ක හදිසි මිලිටරි ආධාරයක් ලබා දීමට ජෝ බයිඩන් තීරණය කල බවයි.

Facebook
Twitter
LinkedIn