එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි – රාජ්‍ය පාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ප්‍රතිඥා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි – රාජ්‍ය පාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ප්‍රතිඥා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබේ.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇති අතර “බහුමාන අවදානම් තත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේක විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා ඇත.

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබා දෙන බවටද නියෝජිතවරිය සහතික වී තිබේ.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් වී ඇත. ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණ පැමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබේ. එසේම කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීමද ඊට හේතු වී ඇත.

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙන අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිළි කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන බවත්ය. මෙම ගැටලුව විසඳීම සඳහා, කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජයේ සැලසුම් කර තිබෙන බවද ජනාධිපති පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කර ඇති සහකාර මහලේකම් කන්නි විග්නරාජා, ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බවද පෙන්වා දී ඇත.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර එවැනි ප්‍රතිසංස්කරණ මගින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දී ඇත්තේ එම ක්ෂේත්‍රයේ පොලී අනුපාත අසාධාරණ බවය. කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමටත් රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති වැඩිදුරටත් සඳහන් කර ඇත.

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම මෙම සාකච්ඡවේ දී යළි තහවුරු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), උපාය මාර්ගික නියැලීම, ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් මාකර් Fadhil Bakeer Markar යන නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

Facebook
Twitter
LinkedIn