රතු නිවේදනය ගැන බී.බී.සී.යෙන් විස්තරයක්…

රතු නිවේදනය ගැන බී.බී.සී.යෙන් විස්තරයක්…

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා තිබෙන තද වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව විමර්ශනාත්මක සටහනක් බී.බී.සී. සිංහල වෙබ් අඩවියේ තබා ඇත.

අද (11දා) පෙරවරුවේ තබා ඇති එම සටහනෙන් විවිධ අංශ අළලා විශ්ලේෂණයක් කර තිබෙන අතර, එම සටහන සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක් වේ.

කාලගුණයෙන් රතු නිවේදනයක් – වැසි අඩු වෙන්නේ කවදාද?

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (ඔක් : 11) දිනයේ ද දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, කොළඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමද තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, දකුණ, කොළඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, දකුණ, කොළඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි

ධීවරයින්ට විශේෂ දැනුම් දීමක්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 -3.0 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

වැඩි ම වර්ෂාපතනය හංවැල්ලට

අද (ඔක් : 11) පෙරවරු 7.00 අවසන් වූ පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 260.5 හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මීට අමතරව ඇහැළියගොඩ මිලි මිටර් 211.5, වතුපිටිවල මිලි මිටර් 203.5, දිවුලපිටිය මිලි මිටර් 198.5 සහ කළුතර, වෝගන් වතු යාය මිලි මිටර් 179.5ක් ලෙස වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මේ අතර කොළඹ, බදුල්ල, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

වැස්ස අඩුවෙන්නේ කවදා ද ?

අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය ඔක්තෝබර් 13 වන දා තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර අනාවැකි පළ කර තිබිණි.

සඳුදා (ඔක්: 07) අලුයම් කාලයේ සිට හදිසියේ වැසි තත්ත්වයෙහි වැඩිවීමක් සිදුවිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම තත්ත්වයට අන්තර් මෝසම් කාලපරිච්ඡේදය ඇතුළු සාධක කිහිපයක් බලපා ඇති බව ය.

බීබීසී සිංහල කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර නිලධාරී සජිත් වික්‍රමසුරිය පැවසුවේ පවතින වැසි තත්ත්වය මෙම මස 13 වැනිදා දක්වා පවතින බවයි.

“දැනට පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් අද සවස් කාලය වන විට බලාපොරොත්තු වනවා.”

“නමුත් පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන්න පුළුවන් වෙන්නේ ලබන 13 වැනිදාට පස්සෙයි.” ඔහු පැවසීය.

හදිසි වැසි තත්ත්වයට හේතුව කුමක් ද?

මේ වන විට ශ්‍රී ලංකාවට ඉහළින් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය යනු කුමක් දැයි ඔහු පැහැදිලි කළේ, මෙසේ ය.

“මේ කාලපරිච්ඡේදයේ තියෙන විශේෂත්වය තමයි, උතුරු අර්ධ ගෝලයෙන් එන සුළං හමන රටාවත්, දකුණු අර්ධ ගෝලයෙන් එන සුළඟත් එකට එකතු වෙන තැනක් තියෙනවා. අපි මේකට කියනවා, අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා. දැනට මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි නිර්මාණය වන ලකුණු තමයි, තියෙන්නේ.”

උදේ කාලයේ වැසි වැඩි ඇයි?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, උදෑසන කාලයේ වැසි වැඩිවීමට හේතුව නිරිත දිගින් හමන සුළං තත්ත්වයක් බව ය.

“නිරිත දිගින් හමන සුළං රටාවක් තියෙනවා. ඒ නිසා උදේ කාලයේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයේ උදේ කාලයේත් වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒ තත්ත්වය විශේෂයෙන් ම බස්නාහිර, වයඹ, සබරගමුව සහ ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි නිර්මාණය වෙන්න පුළුවන්. ඊට අමතරව, දිවයිනේ බොහෝ පළාත්වල සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති වෙන්න පුළුවන්.”

වැසි තත්ත්වයේ ලක්ෂණ

මේ දිනවල ඇදහැළෙන වර්ෂාව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවිය හැකි බව ද අතුල කරුණානායක පැවසීය.

ඊට අමතරව, අකුණු අනතුරු ඇති විය හැකි හෙයින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඔහු අනතුරු ඇඟවීය.

“මේ වර්ෂාවේ තියෙන විශේෂත්වයක් තමයි, කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේ ම, තාවකාලිකව තද සුළං ඇති වෙනවා. ඊට අමතරව, අකුණු අනතුරු ඇති වෙන්න අවදානමක් තියෙනවා.”

තවත් දින කිහිපයක්

මෙම කාලගුණ තත්ත්වය ඉදිරි දින කීපයක කාලයක් පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

අධික වැසි නිසා පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ද මතුව තිබේ.

Facebook
Twitter
LinkedIn