ශ්‍රී ලංකා රජයට ජපාන රජයේ පූර්ණ සහය… වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ…

ශ්‍රී ලංකා රජයට ජපාන රජයේ පූර්ණ සහය… වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ…

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ නව රජයේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ශ්‍රී ලංකා රජයට සහතික වී තිබේ.

ඒ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී පැවති සාකච්ඡාවකදීය.

එහිදී ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට සාකච්ඡා කර තිබේ.

එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ – වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීමද මිට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

Facebook
Twitter
LinkedIn