පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය ඇතුළු පාර්ෂව ගණනාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ගාමිනී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
මෙම පෙත්සම පසුගිය 21 වනදා සිට දින 04ක් එක දිගට විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණද එදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිසියාකාරව සංයුක්ත වී නොමැති බැවින් එම පෙත්සම සලකා බැලීම අද (29) දක්වා කල් තබා තිබිණි.
ඒ අනුව අද සිට ලබන 31 වනදා, ජුනි 03 වනදා සහ ජුනි 05 වනදා මෙම පෙත්සම විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.
පසුගිය 2023 වසරේ මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස කල්දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය, සමඟි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම විනිසුරුවරුන් මාරුවීම් ආදී කරුණ මත මෙම පෙත්සම සලකා බැලීම අධිකරණය විසින් කල් ගනු ලැබීය.
ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ජනාධිපති නීතීඥ නයිජල් හැච්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශාන්ත ජයවර්ධන මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.










