ඇමති ජෝන්ගේ අමාත්‍යංශයට මසකට ලක්ෂ 200ක කුලියක්

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය කොළඹ පාර්ක් ස්ටී‍්‍රට් හි අලූ‍තින් ඉදිකළ ගොඩනැගිල්ලක් වෙත රුපියල් ලක්ෂ 200ක මාසික කුලියටගෙන යාමට සැරසෙන බවට අනාවරණය වේ. මෙම ඇමතිවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංගය. මෙම ගොඩනැගිල්ලට ගෙන ගිය හොත් වර්ෂයකට අමාත්‍යංශයේ කුලිය පමණක් රුපියල් ලක්ෂ 2400ක් ගෙවීමට සිදු වේ. එහෙත් මෙම අමාත්‍යංශය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කර තිබෙන මුළු මුදල වන්නේ රුපියල් දහසය කෝටි විසිඅට ලක්ෂයක් (රු. 162,800,000.00) ය.

මෙම තීරණය ගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බවත් එම තීරණයට අමාත්‍යංශයේ නිලධාරීන් තුළ බලවත් විරෝධයක් මතුව තිබෙන බවත් වාර්තා වේ. සංචාරක අමාත්‍යංශය මේ වන විට පවත්වාගෙන යනු ලබන්නේ කොල්ලුපිටියේ පිහිටි සංචාරක මණ්ඩල ගොඩනැගිල්ලේ හා රක්ෂණ සංස්ථාවට අයත් ගොඩනැගිල්ලේ කොටසක් වශයෙන් ස්ථාන දෙකකය.

විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය ජනතාව පරාජයට පත්කරනු ලැබුවේ රටේ මහජන මුදල් වංචාව, දූෂණය, නාස්තිය ඉහවහා ගොස් තිබූ නිසාවෙනි. එසේ තිබියදී ජනතා මුදල් නාස්තිය නතර කරන බවට ප්‍රකාශ කරමින් බලයට පත්වූ වත්මන් ශ්‍රීලනිය – එජාප හවුල් ආණ්ඩුවත් එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරමින් තිබේ.

Facebook
Twitter
LinkedIn