උතුරු කොරියාවට එරෙහිව පැනවූ එ.ජා සම්බාධක යාවත්කාලීන කිරීම පුටීන් අවසන් කරයි!

උතුරු කොරියාවට එරෙහිව පැනවූ එ.ජා සම්බාධක යාවත්කාලීන කිරීම පුටීන් අවසන් කරයි!

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවා ඇති සම්බාධක ක්‍රියාත්මක කිරීමට හා එරට න්‍යෂ්ටික අවි බලය නිරීක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමේ නිලකාලය දීර්ඝ කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව රුසියාව විසින් තම නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. උතුරු කොරියාව හා රුසියාව ඇතුළු දෙරටේ සහයෝගීතාව සහ ආර්ථික හුවමාරුව තව දුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව රුසියාව පවසා සිටි. උතුරු කොරියාවට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා පත්කළ මෙම එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමේ නිල කාලය අප්‍රේල් 30 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 සඳහා ඡන්දය සඳහා ඉදිරිපත් වූ යෝජනාවට ප්‍රංශය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් 13 ක් විසින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලද අතර චීනය පමණක් චන්දය දීමෙන් වැළකී සිටී බවට වාර්තා වේ. නමුත් රුසියාවේ නිශේධ බලය හේතුවෙන් යෝජනාව නිශ්ප්‍රබා වී අදාල නිරීක්ෂණ මණ්ඩලයේ ක්‍රියා කාරිත්වය ද අවසන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකාව හා යුරෝපා සංගමය සඳහන් කරනුයේ උතුරු කොරියාව විසින් යුක්රේනයට එරෙහිව මිසයිල සහ යුධෝපකරණ ලබාදීම නිසා රුසියාව විසින් කිම් ජොං-උන් පාලන තන්ත්‍රයට තම සෘජු සහයෝගය ලබා දී ඇති බවයි. 2006 සිට එක්සත් ජාතීන්ගේ සම්බාධක අභියෝගයට ලක් කරමින් තම න්‍යෂ්ටික බලය වර්ධනය කරගෙන ඇති උතුරු කොරියාව මෙම කාලය තුල විවිධ න්‍යෂ්ටික පරීක්‍ෂණ සිදුකරනු ලැබුවේය. කෙසේවෙතත් චීනය හා රුසියාව පවසනුයේ මෙම සම්බාධක හේතුවෙන් උතුරු කොරියානු ජනතාව දැඩි පීඩනයකට ලක් වී ඇති බැවින් ඒවා ඉවත් කරලීමට ජාත්‍යන්තර ප්‍රජාව යුහුසුළු විය යුතු බවයි.

2009 දී නිර්මාණය කරන ලද මෙම විශ්ලේෂක මණ්ඩලයේ මෙහෙවර වුයේ උතුරු කොරියාවේ හි න්‍යෂ්ටික හා බැලස්ටික් මිසයිල වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ජාත්‍යන්තර සම්බාධක මග හැරීම සඳහා එරට විසින් යොදවා ඇති විවිධ උපක්‍රමවල ප්‍රගතිය පරික්ෂා කිරීමයි. එසේම වසරකට දෙවරක්, ඉහත මණ්ඩලය විසින් උතුරු කොරියාව තම න්‍යෂ්ටික බලය නිපදවීම සඳහා අවශ්‍ය තාක්‍ෂණය හා අමුද්‍රව්‍ය ලබා ගැනීම කරන ලද විවිධ ජාවාරම් හි ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා නිකුත් කරනු ලබයි. පසුගිය කාලයේ දී සයිබර් අපරාධ සම්බන්ධයෙන් ද උතුරු කොරියාවට චෝදනා එල්ල විනි.

රුසියාවේ නිෂේධ බලය යුක්ති සහගත කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති, Vassily Nebenzia, මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ කණ්ඩායම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සාක්ෂි වල තක්සේරුවක් ලබා දීමට අපෝසත් වී ඇති බවත් බවත්, ඔවුන් ලබා දෙන තොරතුරු බටහිර යුධ උපාය මාර්ග සමග ඍජුව හා වක්‍රව බැඳී ඇති බවත්, එසේම ඒවා පක්ෂග්‍රාහී තොරතුරු වන අතර මේ දක්වා ඉදිරිපත් කර ඇති විශ්ලේෂණ පසුගිය කාලයේ ඉදිරිපත් කල සාක්‍ෂි වල නැවත මුද්‍රණය කිරීම්, පුවත්පත් සිරස්තල සහ දුර්වල ගුණාත්මක නොවන අපැහැදිලි ඡායාරූප පමණක් වූ නිසා ඔවුන් මෙම තීරණය ගන්නා ලද බවත්ය.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ දකුණු කොරියානු තානාපති හ්වැන්ග් ජූන්-කුක්ට පවසනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවන ලද ඇතැම් සම්බාධක ඉවත් කර ගැනීමට එකඟ වූයේ නම්, විශේෂඥ මණ්ඩලයේ කටයුතු දීර්ඝ කිරීමට තමන් සූදානම් බවට රුසියාව තමන්ට අවධාරණය කරනු ලැබූ බවයි. රුසියාවේ ස්ථාවරයට සිය සහයෝගය දක්වමින්, ඇතැම් සම්බාධක ඉවත් කර නව කොන්දේසි හඳුන්වා දීමේ අදහසට චීනය ද සහාය දැක්වූ බව දකුණු කොරියාව පෙන්වා දේ.

විශේෂඥයින්ගේ මෙහෙයුම දීර්ඝ කිරීමට සහාය දුන් රටවල් වල ඒකමතික භාවයට එරෙහිව රුසියානු නිෂේධ බලය යෙදවීම “කණගාටුදායක” තීරණයක් බවත් මෙය උතුරු කොරියාව සහ රුසියාව විසින් ආරක්ෂක කවුන්සිලයේ යෝජනා අඛණ්ඩව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන හා ප්‍රයෝගික පරීක්ෂණ නිහඬ කිරීමට උත්සාහ කිරීමක් හැර අන් කිසිවක් නොවේ,” යයි එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති තෝමස්-ග්රීන්ෆීල්ඩ් මේ අතර පවසා සිටි.

“රුසියානු නිෂේධ බලය ආරක්ෂක කවුන්සිලයේ පොදු යෝජනා උල්ලංඝනය කරමින් උතුරු කොරියාව විසින් රුසියාවට ලබාදෙන ආයුධ බෙදාහැරීම පිළිබඳව නිරීක්‍ෂණ මණ්ඩලයේ විමර්ශනය හා තොරතුරු ඒකරාශී කිරීමේ කාර්යයන් හිතාමතාම අවසන් කරනු ලබනවා යයි ‘එජා සංවිධානයේ හි ප්රංශ තානාපති නිකොලස් ඩි රිවියර් අවධාරනය කළේය.

2009 සිට සම්මත කරන ලද ඇතැම් විවිධ මූල්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධකවලට තිත තැබෙන්නේ නැති නම්, යුධ විශේෂඥයින් පවසන පරිදි, උතුරු කොරියාව න්‍යෂ්ටික බලය සංවර්ධනය කිරීම තවදුරටත් දිරිමත් කළ හැකි අතර, ඒවායේ කාර්යක්ෂමතාව මැනීම වඩාත් සංකීර්ණ වනු ඇත. මේ අතර එජා සංවිධානය, ඇමරිකාව හා යුරෝපා සංගමයේ ආර්ථික සම්බාධක මගහරවමින් ඇමරිකානු, ජපන්, තායිවාන්, ජර්මානු හා යුරෝපයේ යුධ සමාගම් විසින් නිපදවන අමුද්‍රව්‍ය 200ක් උතුරු කොරියානු මිසයිල තුල හඳුනා ගැනීමට සමත් වූ බව රාජ්‍ය නොවන සංවිධානයක් වන Conflict armament Research සංවිධානය විසින් 2024 පෙබරවාරියේ නිකුත් කල වාර්තාවක් මගින් හෙළි කර තිබිණි. මෙම අමුද්‍රව්‍ය වලින් 80%ක් ලැබී ඇත්තේ ඇමරිකානු ආයුධ සමාගම් වලින් වන අතර 12%ක් ජර්මන්, 3.1% ජපාන හා 2%ක් චීන බව ඔවුන් පෙන්වා දේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී රුසියානු ඈත පෙරදිග අභ්‍යවකාශ කඳවුරක පුටීන් හා කිම් ජොන් දෙදෙනා හමුවීමෙන් පසුව දෙරට අතර වෙළෙඳාම තීව්‍ර කිරීමට එකඟ වී ඇත. පසුව දෙරට අතර ආර්ථිකය සහ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ඔවුන්ගේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ගිවිසුම් ගත වූහ. එතැන් සිට, ක්‍රේම්ලන් පාලනය සිය උතුරු කොරියානු සහකරුට ඉන්ධන සහ පිරිපහදු කළ නිෂ්පාදන ලබා දීම ආරම්හ කර ඇත. මෙම හමුවීමෙන් පසුව යුක්රේනයේ ගොඩනැගිලි සුන්බුන් තුළ, රුසියාවට ලබා දුන් පළමු උතුරු කොරියානු මිසයිල කොටස් හඳුනා ගැනීමට නේටෝ හමුදා විශ්ලේෂකයින් සමත් වු බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටියහ.

මේ අතර මහා බ්‍රිතාන්‍යයේ රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනය මාර්තු මස මුලදී, රුසියා-කොරියානු දේශසීමා ස්ථාන කිහිපයක සිදු වූ හමුදා යුධ ටැංකි, ට්‍රක් රථ චාරිකා පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව සති තුනක් ඇතුලත රුසියාව විසින් උතුරු කොරියාවට තෙල් බැරල් 125,000ක් ලබා දී ඇති බව අනාවරණය කරනු ලැබුවේය. එහිදී දකුණු කොරියාව තම රාජතාන්ත්‍රික වාර්තාවක් මගින් පෙන්වා දෙනුයේ උතුරු කොරියාව විසින් ආයුධ රැගත් කන්ටේනර 7000ක් රුසියාවට ලබා දී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්