මහින්ද කියන දේවල් ගැන තමන් නොදන්නා බව සුසිල් කියයි

හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් පළ කරවා ගැනීමට ස්වාධීන රූපවාහිනිය පක්ෂය සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ලේකම් වශයෙන් තමන්ට කිසිදු වගකීමක් නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා බරපතළ වංචා, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (30) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී පවසා ඇත.

පසුගිය ජනාධිපතිවරණය පැවති අවස්ථාව වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගිණුම තුළ තිබුණේ රුපියල් දස දහසක මුදලක් පමණක් බවත් ස්වාධීන රූපවාහිනියට ලබාදුන් දැන්වීම් සම්බන්ධව තමා කිසිවක් නොදන්නා බවත් ඒ මහතා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන ‍රූපවාහිනී සේවාව ඔස්සේ විකාශනය කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් මිලියන 115ක මුදලක් අය කර නොගැනීම, ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා රුපියල් මිලියන අසූවක මුදලක් අයකරගෙන දැන්වීම් ප්‍රචාරය සිදු නොකිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව විමර්ශනය සිදු කෙරෙයි.

පෙරවරු 10.00ට පමණ එම ස්ථානයට පැමිණි ඇමතිවරයාගෙන් දහවල් 12.00 පමණ වනතුරු ප්‍රකාශ සටහන් කර ගත් බවට වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn