රනිල්ට නොතේරෙන බව සරත් වීරසේකර කියයි

රනිල්ට නොතේරෙන බව සරත් වීරසේකර කියයි

පසුගිය සමයේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහට පැහැදිලි කර දීමේ වාර්තාවක් සකස් කර ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ඊයේ (12) පැවති මෙම මාධ්‍ය හමුව පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව පැහැදිලි වන්නේ පසුගිය 30 අවුරුද්දක් පැවති යුද්ධයේ ස්වභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවබෝධයක් නොමැති බවය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයෙන් මේ බව පැහැදිලි වන්නේ “ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.” යනුවෙන් සඳහන් කර තිබීමෙන්ය.

ඊට අමතරව ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මේ වනවිට පත් කර තිබෙන ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත් කර සිටින්නේද පොහොට්ටු මන්ත්‍රී සරත් වීරසේකරය.

Facebook
Twitter
LinkedIn