කඩුල්ල පා මුලදි නිදහස් වූ පනාපුත්‍ර කුහුඹු පැණියා

කඩුල්ල පා මුලදි නිදහස් වූ පනාපුත්‍ර කුහුඹු පැණියා

මේ සටහන නොලියා සිටීම වැරදිකාරී හැඟීමක් ශේෂ කරවන බව තදින් දැනේ. ඔහු, ජැක්සන් ඇන්තනී. එක් ආකාරයකින් ඔහු වැනිම වූ සමහර පිරිසක් නිදහස් කිරීම වෙනුවෙන් මේ සටහන තැබිය යුතුමය.

ඒත් පටන් ගන්නේ කොතනින්ද !

‘කඩුල්ල…..’

ඔව්. ‘කඩුල්ල’ තමයි උපතත්, විපතත්, දෙකම එකට එක්වූ තැන.

‘කඩුල්ල’ ටෙලි නාට්‍යයේ පිටපත තිලක් ජයරත්නගේ. අධ්‍යක්ෂණය ධර්මසේන පතිරාජ. සංගීතය ප්‍රේමසිරි කේමදාස. භූමිකා නිරූපණය ජැක්සන් ඇන්තනී, ක්ලීටස් මෙන්ඩිස්, වසන්ති චතුරාණි, ඩබ්. ජයසිරි ඇතුළු පිරිසක්.

කඩුල්ලේ අවසාන රූප සරණිය තුළ එන, මේ දෙබස් ඛණ්ඩය හොඳින් කියවන්න.

කුරුස මුදලාලි;

මහත්තයා, අනුරාධපුරේ අරක්කු රේන්දය ගත්තා නම්, ඔළුව උස්සන්න තිබුණා.

බණඩාර මහත්තයා;

චා… චා.. චා… ඒ…. ඒක හරි නෑනෙ මුදලාලි මහත්තයා.

කුරුස මුදලාලි;

මොකක්ද ඒකෙ ඇති වැරැුද්ද. මගේ බූදලෙන් වැඩි හරියක් අරක්කු රේන්දෙන් හොයපු ඒවා ඕං.

බණ්ඩාර මහත්තයා;

අපි ඉතිං ජයසිරි මහ බෝධි හාමුදුරුවන්ට වඳින මිනිස්සුනේ. අනික රිචඩ් පුතා අමද්‍යප සංගමයේ සභාපතිකමටත් පත් වුණානේ.

කුරුස මුදලාලි;

අනේ මන්දා මහත්තයා. මං ඉතිං ඔය කිව්වේ මට තේරෙන හැටියට නොවැ.

බණ්ඩාර මහත්තයා;

ඔය අමද්‍යප සංගමයේ වැඩ කරන්නේ නිකමට නොවෙයි. මට පේන විදිහට රිචඩ් පුතාට තව බලාපොරොත්තු තියෙනවා වගෙයි පේන්නේ.

කුරුස මුදලාලි;

එහෙනම් කුරේ මහත්තයා මට කිව්වේ බොරුවක්ද? උන්නැහේ මට බොරු කියන්නේ නැහැ.

බණ්ඩාර මහත්තයා;

ඒ මොකක්ද මුදලාලි.

කුරුස මුදලාලි;

ඇයි ඔය අපේ කොම්පැනියෙන් පිටරට බීම වර්ග මෙහෙ ගේනවා කියපු එක.

බණ්ඩාර මහත්තයා;

හා….. හා….. හා…. ආ…. ඒව ඉතිං ඔය අරක්කු විතර නරක බීමක් නෙවෙයිනෙ. අනෙක රිචඞ් පුතාට පොන්නම්බලම් උන්නැහේට වගේ කවුන්සිලේට යන්නත් පුළුවන්.

මෙරට ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය හා සමාජය ගොඩනැගී තිබෙන අත්තිවාරම කෙතරම් පාදඩ දැයි මේ දෙබස්වල හොඳින්ම පවතී. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වතු වගාව පටන් ගත්ත පසුව හඳුන්වා දුන් අරක්කු රේන්ද ව්‍යාපාරය මත අදාළ අත්තිවාරමේ සියල්ලම තීරණය වුණා. වැවිලි කර්මාන්තය අරක්කු ව්‍යාපාරයට දෙවැනි වුණේ සීඝ‍්‍ර ව්‍යාප්තියෙන්. ඒ වගේම අරක්කු රේන්ද ව්‍යාපාරය ආර්ථික බුබුලක්. ඒ ආර්ථික බුබුල විසින් දේශපාලනය, ආගම, අධ්‍යාපනය ඇතුළු සංස්කෘතික අංග සියල්ල සහ බලයට අයත් අංග සියල්ල මෙහෙයවීමට පටන් ගත්තා.

”රට බීම, අරක්කු බීම තරම් නරක බීමක් නොවෙයි” මේ කියන නරක බීමක් නොවන ධනය හිමි බිස්නස් කාරයෝ පොන්නම්බලම් උන්නැහේලා යටකරගෙන කවුන්සිලේ බලය ගත්තා. ධර්මපාල උන්නැහේගේ මග පෙන්වීම, බුදුහාමුදුරුවන්ගේ මග පෙන්වීමටත් වඩා පූජාසනයේ තබමින් අදහන්න මේ අලූත් බිස්නස්කාර දේශපාලන පෙළැන්තිය ඉදිරියට ආවා. ”සිංහලයෙනි අවදිවව් ! බුද්ධාගම බේරා ගනිවු !” අරක්කු තරම් රට බීම නරක නොවෙන බව න්‍යාය කරගත් බිස්නස්කාරයන්ගේ කවුන්සිලයට යාමේ සටන් පාඨය කරගත්තා.

මේ සටන් පාඨය කරගත් අයගේ මූලික හැරවීම් ලක්ෂය තමයි 1948 පෙබරවාරි 04 කියන්නේ. රබන් ගහලා, කිරිබත් කාලා, නිදහසක් කියලා එකක් ගැන කොයිකවුරුත් සතුටු වුණා. නමුත් වැඩේ ගැස්සී ඇති බව ආනන්ද සමරකෝන් පැත්තක ඉඳලා තේරුම් ගත්තා. වැඩිදෙනකුගේ අවධානයට ලක් නොවුණ, සැඩසුළං චිත‍්‍රපටයට ලියපු ගීතයකින් ඒ බව පැහැදිලියි.

”ඉදිරියටා යමු සැවොමා
නිදහස ලබනට බැමි සිඳදා”

මේ වචන ආනන්ද සමරකෝන්ට එන්නේ අකාස්මිකව නොවෙයි. සිද්ධ වුණේ මොකක්ද කියන එක ගැන හරියටම කියවා ගන්න බැරිවී තිබුණත්, වැඩේ අප්සට් බව නම් දැනෙන්නම ඕනෑ. ඒත් අරක්කු රේන්ද ආර්ථික බුබුලේ පාට පාට දිස්නයෙන් ඇස් නිලංකාර වන දේශපාලන පාදඩ ගේම් විවිධාකාරයෙන් එළියට ආවා. සමහරුන් මුලා වුණේ ඒකට. ජැකසන් ඇන්තනී වැටුණේද ඒ තැනට. ඊට සමාන්තරව ජැකසන් අනුගත නොවුනෙත්, ”සිංහලයෙනි අවදිවව්, බුද්ධාගම බේරා ගනිව්” කියන උඩුබුරුලෑම ආගමික සංස්ථාව විතරක් නොවෙයි, මිනිසුන්ගේ සමාජ සංස්කෘතික ජීවිතයම පිළිලයක් වී වසා ගත්තා.

ආර්ථිකය, දේශපාලනය, සමාජ සංස්කෘතිය වසා ගත් මේ දේශපාලන පිළිලය ඒ ඒ වෙලාවට අවශ්‍ය පාට මාරුකිරීම් කළා. ඒ ඒ වෙලාවට අවශ්‍ය ලේබල් අලවා ගත්තා. අන්තිමේ 2010 ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් වගේම 2019 ජනාධිපතිවරණය සහ 2020 අගෝස්තු මහා මැතිවරණය තුළින් කූඨප‍්‍රාප්තියට ගෙනාවේ මේ පාට මාරුකිරීම්.

”දියසේන කුමාරයා”

ජැක්සන් ඇන්තනී සහ ඔහු වගේම කිසියම් පිරිසකගේ අවංකකම විසින් පින්තාරු කරුනු ලැබ තිබුණා. කඩුල්ලේ කුරුතේරිස්ගේ චරිතයට පණ දුන්නු ජැක්සන් ඇන්තනි ඒ කුරුතේරිස්ගේ අවංකකම තුළම මියගොස් තිබුණා.

ඒත් බණ්ඩාර හාමු මහත්තයලා කුරුතේරිස්ගෙන් උත්පාද වුණු රිචඩ්ලා එක්ක කිසිකෙනෙකුට හිතාගත නොහැකි වූ ගේමක් ගැහුවා. ”රට බීම අරක්කු බීම තරම් නරක බීමක් නොවෙයි” බණ්ඩාර හාමු මහත්තයලා ජුගුප්සා ජනක ආර්ථික, දේශපාලන න්‍යාය පත‍්‍රය පදනම් කර ගත්තේ මෙන්න මේ තුළ ඉඳලයි. පොන්නම්බලම් උන්නැහේලා යට කරගෙන, එහෙමත් නැත්නම් කුණු කූඩයට දාලා රිචඩ්ලා ඉස්සරහට ආවා. හාමු මහත්තයලා සහ රිචඩ්ලා හයිබ්‍රිඩ් ගේමක් ගැහුවේ 1948ටත් පෙර ඉඳලයි. ජැක්සන් ඇන්තනී වියුක්තව ඉතිහාසය කියවා ගත්තත් මෙන්න මේ සංයුක්ත අදහස කියවා ගන්න අසමත් වුණා. ඔහුට වැරදුණේ අන්න එතනයි. ඔහු වැනිම යම් පිරිසකට වැරදුණෙත් එතැනයි.

නමුත් 2014 වෙනකොට තමන්ට වැරදී තිබුණු බව ඔහුගේ නිහඬවීමෙන් පැහැදිලි වුණා.

ඒ විතරක් නොවෙයි නිහඬකමේම නොඉඳ තැනින් තැනදී කළ යම් යම් ප‍්‍රකාශවලිනුත් මේ බව පැහැදිලි වුණා. මතකයේ විදිහට 2021දී ජාතික චිත‍්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේ ‘අහස්ගව්ව’ චිත‍්‍රපටය පෙන්නූ අවස්ථාව එයින් එකක්. ධර්මසේන පතිරාජගේ අහස්ගව්ව පෙන්වා අවසානයේ ගොඩනැඟුණු සාකච්ඡාවේදී ජැක්සන් කියූ කතාවක් මේ බව සනාථ කරනවා. 1948න් පස්සේ මේ රටේ අවංකව ගැසූ කැරලි දෙකක් තිබුණා. ඒ බව විග‍්‍රහ කළේ ”එකක් ජනතා විමුක්ති පෙරමුණේ 71 එකේ කැරැල්ල, අනෙක ධර්මසේන පතිරාජ අහස්ගව්වෙන් ගැසූ සිනමා කැරැල්ල.” ජැක්සන් ඇන්තනී කීවේ ඒ විදිහට.

ජැක්සන්, ඔබ කඩුල්ල පා මුලදී නිදහස් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ල ගැන කියූ නිසා නොවෙයි. බොහෝ දෙනෙක් අදටත් හරියටම කියවා නොගත්, එහෙත් හරියටම කියවා ගත යුතු කඩුල්ලේ කුරුතේරිස්ගේ චරිතය හරියටම නිරූපණය කළ නිසයි. අද මේ රට වැටී තිබෙන සියලු විනාශයන්ගේ පදනම පාදඩ ආර්ථිකය සහ දේශපාලනය බව කුරුතේරිස් තුළින් ඔබ දැක්වූ භූමිකාවෙන් ඉතා අපූරුවට පෙන්වා දුන්නා. කඩුල්ල පාමුලදී නිදහස් වූයේ ඔබ පමණක් නොවෙයි. ඔබ වැනිම වූ තවත් යම් පිරිසක්ද නිදහස් වුණා.

එය විශිෂ්ටයි !

ඔබ මේ යන ගමනේදී ගෙන යන කිසිවක් නැත.
එහෙත් ඔබ තබා යන දේවල් බොහොම බර වැඩියි !

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්