මේ දිනවල පාචනය, අතීසාරය, උණ සන්නිපාතය ආදී රෝග අධිකයි – දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පාචනය, අතීසාරය, උණ සන්නිපාතය ආදී රෝග අධිකයි – දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පවතින වර්ෂාවත් සමග මැසි මදුරුවන්ගේ වර්ධනයක් පවතින බැවින් පාචනය, අතීසාරය උණ සන්නිපාතය යන රෝගවල වැඩි වීමක් පවතින බවද මේ නිසා දරුවන්ට පිරිසිදු ආහාර සහ ජලය ලබා දෙන මෙන්ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ඔහු රජයේ නිල පුවත් සේවය වෙත දක්වා තිබූ අදහස් පහතින් දැක්වේ,

වර්ෂාවත් සමග ඇතැම් ප්‍රදේශවල පිරිසිදු ජලය ලබාගැනීමේ හැකියාව අඩුවී ඇතැයිද, මදුරුවන් වැඩිවීමත් සමග ඩෙංගු රෝගය යළි හිස ඔසවන තත්වයක් ඇතැයිද කියාසිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මැස්සන් වැඩිවීමෙන් පාචනය, අතීසාරය උණ සන්නිපාතය වැඩි වීමක් පෙන්නුම් කරන බවද පැවසුවේය.

එමෙන්ම වැසි කාලයේදී මී උණ වර්ධනය වීමක් සෑම කාලයකම මෙන් දක්නට ලැබෙන බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පිරිසිදු ජලය සහ පිරිසිදු ආහාර ලබාගත නොහැකි වුවහොත් පාචන තත්වයන් ඇතිවිය හැකි බවද අවධාරණය කළේය.

එහිදී වමනය, වතුර මෙන් බඩඑලියේ යාම, රුධිරය සමග බඩඑලියේ යාම වැනි තත්වයන් ඇතිවුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද, ස්වභාවික දියරමය ආහාරවලට යොමුවන ලෙසද අවධාරණය කරයි.

ජීවනී, නිවසේ සාදාගත හැකි බැදිහාල් කැඳ, නාරං, දෙළුම්, ටෝස්ට් කළ පාන්, කෙසෙල්, තැඹිලි වතුර, යෝගට් වැනි දෑ පාචනය සඳහා සුදුසු ආහාර බවද ගස්ලබු, පළාවර්ග, තෙල් සහ බටර් මෙම රෝගී තත්වයන්ට ලබාදීම නුසුදුසු බවද ඔහු සඳහන් කරයි.

මැසි මදුරුවන් බෝවීම අවම කර ගන්නා ලෙසද, දින දෙක තුනකට වැඩියෙන් උණ පවතී නම් ඩෙංගු සඳහා පරීක්ෂාවක් සිදුකරගන්නා ලෙසද මී උණ ඇතිවිය හැකි බැවින් ජලය ගලන ප්‍රදේශවල පිරිසිදුව සිටිනා ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරයි.

දින තුන හතරක් උණ පවතී නම්, ඇඟ රිදීමක් ඇත්නම්, ඇස් කහ පාට වී ඇත්නම්, මුත්‍රා තද කහ පැහැති නම් මී උණ විය හැකි බැවින් කල්පනාකාරී වන ලෙසද පාචනය පවතී නම් විජලනය වළක්වා ගැනීම ඉතා වැදගත් බවද රෝහල්ගත වීම් ප්‍රමාද වුවහොත් ඇතැම්විට විජලනය හේතුවෙන් අපහසුතාවයන්ට ලක් විය හැකි බවද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn