මහ මැතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට පසුගිය 25 වැනිදා රාත්‍රියේ පැවැති රහසිගත හමුවේදී එකඟ වී ඇති බව අනාවරණය වේ. එම රහසිගත හමුව පිළිබඳව මෙම දෙදෙනාම මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ප්‍රතික්ෂේප කළද එහිදී බොහෝ එකඟතාවන්ට පැමිණ ඇති බව අනාවරණය වේ.
හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා වෙන වෙනම ඡන්ද සටන මෙහෙයවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා එකඟ වී ඇත. එහිදී ඇති වී තිබෙන විශේෂ එකඟතාවයක් වන්නේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් නොකිරීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමටය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එකඟ වී ඇති බවද අනාවරණය වේ. නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමටත් කතානායක චමල් රාජපක්ෂ මහතා ස්වේච්ඡාවෙන්ම දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මොනරාගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කරනු ඇති බවත් අනාවරණය වේ.
මෙම එකඟතාවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කවර ප්‍රතිචාරයක් දක්වන්නේදැයි මේ වනවිට හෙළි වී නැත. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර මෙම මූලික එකඟත්වයන් ඇති කර ගැනීමෙන් පසුව ඊයේ (26) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි බව වාර්තා වේ.









