පාර්ලිමේන්තුව විසුරුවයි – ඡන්දය අගෝස්තු 17!

(දෙවන සංස්කරණය) අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ ගැසට් නි‍වේදනය මුද්‍රණය කිරීම සඳහා මීට පැයකට පණ පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගෝස්තු මස 17 හෝ ඊට ආසන්න දිනයක මහ මැතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බවත් නාම යෝජනා බාර ගැනීම ජූලි 6 වැනිදා ආරම්භ කරනු ඇති බවත් මැතිවරණ මහ ලේකම්කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු ඡන්ද පනතේ 10 වැනි වගන්තිය මේ කාල පරාසයන් පිළිබඳ වඩාත් සවිස්‌තර කරුණු ගෙනහැර දක්‌වයි. මෙකී වගන්තියට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ නිකුත් කිරීමෙන් දින 10ක්‌ ගෙවුණු තැන නාම යෝජනා භාර ගැනීම ආරම්භ වෙයි. ඊට දින 7කට පසු නාමයෝජනා භාර ගැනීම අවසන්වෙයි. නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති 5 කට පසුව ඡන්දය පැවැත්වීමේ දිනය නියම කළ හැක. නමුත් එම දිනය නාමයෝජනා අවසන් කළ පසු සති 7ක්‌ ඇතුළත විය යුතුය. මේ අනුව බැලුවොත් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පවත්වා අලුත් පාර්ලිමේන්තුව රැස්‌වන දිනය නියම කිරීම සඳහා අවම වශයෙන් මාස 2ක්‌ වත් තිබිය යුතුය. එනම් නාමයෝජනා භාර ගැනීමට දින 17කුත් එතැන් සිට ඡන්ද දවස වන තුරු සති 5 ක අවම විරාමයකුත් වශයෙන්ය.

Facebook
Twitter
LinkedIn