රනිල් වික්‍රමසිංහ 2022 මැයි මස අගමැති සහ මුදල් ඇමති ධුරයන් බාර ගැනීමත් එම වසරේ ජූලි මාසයේදී පොහොට්ටු පක්ෂයෙන් තෝරා ගත් ජනාධිපති වී මේ දක්වා මුදල් අමාත්‍ය ධුරය දරමින් රට හෙළන ලද ආර්ථික ප්‍රපාතයේ බරපතළකම පෙන්වන දත්ත නිල වාර්තා ඇසුරින් හෙළි කළ හැකිව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මාසිකව නිකුත් කරන ආර්ථික දත්ත පදනම් කර ගෙන 2022 වසරේ තුන් වන කාර්තුවේ සිට 2023 වසරේ මුල් කාර්තුව දක්වා දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු තුනක් පුරා විශාල වශයෙන් බිඳ වැටී පවතී.
රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා යටතේ ආරම්භ වූ 2022 තුන්වන කාර්තුව 2021 තුන්වන කාර්තුවට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිතය ඍණ 11.8% ක් වී තිබේ. එසේම 2021 සිව්වන කාර්තුවට සාපේක්ෂව 2022 සිව්වන කාර්තුවේ දළ නිෂ්පාදිතය ඍණ 12.4%ක් වී තිබේ.
රට ගොඩ නැගීමට ක්‍රියා කරන බව පවසමින් 2023 වර්ෂය ආරම්භ කළ ජනාධිපති සහ මුදල් ඇමති ධුරය දරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ 2023 පළමු කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2022 පළමු කාර්තුවට සාපේක්ෂව ඍණ 11.5%ක් වී තිබේ.
මේ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ මුදල් ඇමති යටතේ සමස්ථයක් ලෙස කාර්තු 3ක ආර්ථිකය බිඳ වැටී පවතින්නේ 2022 තුන්වන කාර්තුව ඍණ 11.8%, එම වසරේ සිව්වන කාර්තුව ඍණ 12.4%ක් සහ 2023 පළමු කාර්තුව ඍණ 11.5%ක් ආදී වශයෙනි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ යටතේ 2022 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය ඍණ 0.5% සිට රනිල් වික්‍රමසිංහ යටතේ 2023 පළමු කාර්තුව ඍණ 11.5%ක් දක්වා බියකරු කඩා වැටීමක් පෙන්වයි.
මෙසේ තිබියදී මෙම වසර අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතය ධන 2.0% ඉක්මවන බවට ආණ්ඩුව පම්පෝරි ගසමින් සිටී.









